YouVersion Logo
Search Icon

ශු. මතෙව් 9:9-26

ශු. මතෙව් 9:9-26 SROV

යේසුස්වහන්සේ එතැනින් යන අතර මතෙව් නම් මනුෂ්‍යයෙක් සුංගම් අයකරන තැන වාඩිවී ඉන්නවා දැක: මා අනුව එන්නැයි ඔහුට කීසේක. ඔහු නැගිට උන්වහන්සේ අනුව ගියේය. තවද යේසුස්වහන්සේගෙයි කෑමට හුන් කල්හි බොහෝ සුංගම් අයකරන්නෝද පව්කාරයෝද ඇවිත් උන්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් සමඟ හිඳගත්තෝය. ඵරිසිවරු ඒ දැක: නුඹලාගේ ආචාරීන්වහන්සේ සුංගම් අයකරන්නන්ද පව්කාරයන්ද සමඟ කන්නේ මක්නිසාදැයි උන්වහන්සේගේ ගෝලයන්ට කීවෝය. උන්වහන්සේ ඒ අසා ඔවුන්ට කියනසේක්: රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් කම් නැත. නුමුත්–මම පූජාවට නොව දයාවට කැමැත්තෙමියි යන කීමේ අර්ථය නුඹලා ගොස් ඉගෙනගන්න. මක්නිසාද මම පව්කාරයන් මිස ධර්මිෂ්ඨයන් කැඳවන්ට නාවෙමියි කීසේක. එකල යොහන්ගේ ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: ඵරිසිවරුත් අපිත් නොයෙක්වර නිරාහාරව සිටිමුව, නුමුත් ඔබගේ ගෝලයන් නිරාහාරව නොසිටින්නේ මක්නිසාදැයි කීවෝය. යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: මගුල් ගෙදර අය සමඟ මනමාලයා සිටින තුරු ඔවුන්ට ශෝකවන්ට පුළුවන්ද? නුමුත් මනමාලයා ඔවුන්ගෙන් අහක්කරනු ලබන දවස් පැමිණෙන්නේය, එකල ඔවුන් නිරාහාරව සිටිනවා ඇත. කිසිවෙක් තාන් රෙදිකෑල්ලක් පරණ වස්ත්‍රයකට මහන්නේ නැත; මක්නිසාද එසේ කළොත් අණ්ඩයට ගත් රෙදි කැබෙල්ල වස්ත්‍රයෙන් ඇදී, වඩා ලොකු ඉරුමක් වේ. අලුත් මුද්‍රික පානය පරණ සම්භාජනවල වත් නොකරති. වත්කළොත් භාජන පැළී, මුද්‍රිකපානය වැගිරී ගොස්, භාජනත් නාස්තිවන්නේය. නුමුත් අලුත් මුද්‍රිකපානය අලුත් සම්භාජනවල වත්කරති; එවිට දෙවගේම ආරක්ෂාවේයයි කීසේක. උන්වහන්සේ ඔවුන්ට මේ කාරණා කියමින් සිටියදී එක්තරා මුලාදෑනියෙක් ඇවිත් උන්වහන්සේට වැඳ: මාගේ දුව මේ දැන් මළාය. එහෙත් ඔබවහන්සේ ඇවිත් ඈ පිට අත තැබුව මැනව, එවිට ඈ ජීවත්වේයයි කීවේය. යේසුස්වහන්සේ නැගිට ඔහු අනුව ගියසේක, උන්වහන්සේගේ ගෝලයෝද එසේම කළෝය. එවිට දොළොස් අවුරුද්දක් මහලේ රෝගයෙන් පෙළුණාවූ ස්ත්‍රියෙක් උන්වහන්සේ පස්සේ ඇවිත්, උන්වහන්සේගේ සළුවේ දාවල්ලට අතගැසුවාය. මක්නිසාද: උන්වහන්සේගේ සළුවට පමණවත් අතගැසුවොත් මට සුවවන්නේයයි ඈ සිතින් කියාගත්තාය. යේසුස්වහන්සේ හැරී ඈ දැක: දියණියෙනි, ධෛර්යමත්වෙන්න; නුඹේ ඇදහිල්ල නුඹ සුවකළේයයි කීසේක. ඒ ස්ත්‍රී ඒ පැයේ පටන් සුවපත්වූවාය. යේසුස්වහන්සේ මුලාදෑනියාගේ ගෙට ඇතුල්ව, නළාකාරයන්ද ඝෝෂාකරමින් සිටි සමූහයාද දැක: අහක්වෙන්න. යෞවනී මැරිලා නොව නිදන්නීයයි කීසේක. එවිට ඔව්හු උන්වහන්සේට සිනාසුණෝය. නුමුත් සමූහයා පිටකරනු ලැබූ විට උන්වහන්සේ ඇතුල්වී, ඇගේ අත ඇල්ලූසේක; යෞවනී නැගිට්ටාය. එහි කීර්තිය ඒ රට මුළුල්ලෙහි පතළවිය.

Free Reading Plans and Devotionals related to ශු. මතෙව් 9:9-26