ශු. මතෙව් 5:1-20
ශු. මතෙව් 5:1-20 SROV
උන්වහන්සේ සමූහයන් දැක කන්දට නැගුණසේක. උන්වහන්සේ හිඳගත් කල්හි උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ වෙතට ආවෝය. එවිට උන්වහන්සේ මුඛය හැර ඔවුන්ට උගන්වමින් මෙසේ කීසේක– සිතින් දිළින්දෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය. ශෝකවන්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු සනසනු ලබන්නෝය. මොළොක් ගුණ ඇත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු පොළොව උරුමකරගන්නෝය. ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු තෘප්තියට පැමිණෙන්නෝය. දයාවන්තයෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දයාව ලබන්නෝය. සිතින් පවිත්‍රව සිටින්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ දකින්නෝය. සමාදානයකරන්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි කියනු ලබන්නෝය. ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද තැනැත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය. මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩාකොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශීර්වාදලද්දෝය. ප්‍රීතිවෙන්න, ඉතා සන්තෝෂවෙන්න; මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය. නුඹලාට පළමුවෙන් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔව්හු එලෙසම පීඩාකළෝය. නුඹලා පොළොවේ ලුණුය. නුමුත් ලුණුවල රස නැතිවුණොත් ඒවා කුමකින් රසකරනු ලබන්නේද? එතැන් පටන් ඒවා පිටත දමනු ලබන්ටද මනුෂ්‍යයන්ගේ පයින් පාගනු ලබන්ටද මිස අන් කිසිවකට නොවටනේය. නුඹලා ලෝකයේ ආලෝකයය. කන්දක් මුදුනෙහි තිබෙන නුවරක් සඟවන්ට නොහැකිය. මනුෂ්‍යයෝ පහනක් දල්වා කුරුණිය යට නොව පහන්රුක උඩ තබති; එවිට එයින් ගෙයි සිටින සියල්ලන් කෙරෙහි ආලෝකය බබළයි. එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා. ව්‍යවස්ථාව හෝ අනාගතවාක්‍යය හෝ අවලංගුකරන පිණිස මම ආවෙමියි නොසිතන්න. සම්පූර්ණකරන්ට මිස අවලංගුකරන්ට නාවෙමි. සැබවක් නුඹලාට කියමි: අහසත් පොළොවත් පහව යන තෙක්, සියල්ල සිදුවන තුරු, ව්‍යවස්ථාවෙන් එක අකුරක්වත් බින්දුවක්වත් කිසිසේත් පහව නොයන්නේය. එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක්වත් කඩකරන්නාවූ, කඩකරන ලෙස මනුෂ්‍යයන්ට උගන්වන්නාවූ කවරෙක් නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි ඉතා සුළුයයි කියනු ලබන්නේය. නුමුත් ඒවා පවත්වන්නාවූ, උගන්වන්නාවූ කවරෙක් නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි උතුම්යයි කියනු ලබන්නේය. මක්නිසාද නුඹලාගේ ධර්මිෂ්ඨකම ලියන්නන්ගේද ඵරිසිවරුන්ගේද ධර්මිෂ්ඨකමට වැඩි නොවීනම්, නුඹලා කිසිසේත් ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නහුයයි නුඹලාට කියමි.





