ශු. මතෙව් 27:11-44
ශු. මතෙව් 27:11-44 SROV
යේසුස්වහන්සේ ආණ්ඩුකාරයා ඉදිරියෙහි සිටිසේක. නුඹ යුදෙව්වරුන්ගේ රජදැයි ආණ්ඩුකාරයා උන්වහන්සේගෙන් ඇසුවේය. එසේයයි යේසුස්වහන්සේ කීසේක. නායක පූජකයන්ද වැඩිමහල්ලන්ද උන්වහන්සේට වරද තැබූ විට උන්වහන්සේ කිසි උත්තරයක් දුන්නේ නැත. එවිට පිලාත් කථාකොට: මොව්හු නුඹට විරුද්ධව කොපමණ කාරණා ගැන සාක්ෂි කියන්නෝද කියා ඇසෙන්නේ නැද්දැයි කීවේය. නුමුත් උන්වහන්සේ එක වචනයකටවත් උත්තර නුදුන්සේක. එහෙයින් ආණ්ඩුකාරයා බොහෝසෙයින් මවිතවූයේය. මංගල්‍යයෙහිදී සමූහයා ඉල්ලන එක හිරකාරයෙකු ආණ්ඩුකාරයා විසින් නිදහස්කර දෙන සිරිතක් තිබුණේය. එකල්හි බරබ්බස් නම් ප්‍රසිද්ධ හිරකාරයෙක් සිටියේය. එහෙයින් ඔවුන් රැස්වූ විට පිලාත් ඔවුන්ට කථාකොට: මා විසින් නුඹලාට කවරෙකු නිදහස්කරදෙනවාට නුඹලා කැමතිද? බරබ්බස්ද? නොහොත් ක්‍රිස්තුස්ය කියන යේසුස්දැයි ඇසුවේය. මක්නිසාද ඔවුන් ඊර්ෂ්‍යාවෙන් උන්වහන්සේ පාවාදුන් බව ඔහු දැනගෙන සිටියේය. තවද ඔහු විනිශ්චයාසනයෙහි හිඳිද්දී ඔහුගේ භාර්යාව: ඒ ධර්මිෂ්ඨයාට කිසිවක් නොකරන්න. අද ඔහු නිසා ස්වප්නයකින් බොහෝ දුක් වින්දෙමියි ඔහුට කියා ඇරියාය. එහෙත් නායක පූජකයෝද වැඩිමහල්ලෝද බරබ්බස් ඉල්ලන්ටත් යේසුස්වහන්සේ නසන්ටත් සමූහයන් කැමතිකරවාගත්තෝය. ආණ්ඩුකාරයා ඔවුන්ට උත්තරදෙමින්: මේ දෙදෙනාගෙන් කවරෙකු මා විසින් නුඹලාට නිදහස්කරදෙනවාට කැමතිදැයි ඔවුන්ගෙන් ඇසුවේය. බරබ්බස්යයි ඔව්හු කීවෝය. එසේවී නම් ක්‍රිස්තුස් කියන යේසුස්ට මා විසින් කුමක් කරන්ටදැයි පිලාත් ඔවුන්ගෙන් ඇසුවේය. ඔහු කුරුසියෙහි ඇණගසනු ලබාවයි සියල්ලෝම කීවෝය. එවිට ඔහු: මන්ද, මොහු මොන නපුරක් කෙළේදැයි ඇසුවේය. නුමුත්: ඔහු කුරුසියෙහි ඇණගසනු ලබාවයි ඔව්හු අතිශයෙන් මොරගැසුවෝය. මෙසේ කෝලාහලයක් හටගන්නවා මිස තමාගේ උත්සාහයෙන් කිසි පලක් නැති බව පිලාත් දැක, වතුර ගෙන සමූහයා ඉදිරියේ අත් සෝදමින්: මේ ධර්මිෂ්ඨයාගේ ලේ ගැන මම නිදොස්වෙමි. නුඹලාම බලාගන්නැයි කීවේය. මුළු සෙනඟ උත්තර දෙමින්: ඔහුගේ ලේ අප පිටද අපගේ දරුවන් පිටද වේවයි කීවෝය. එකල ඔහු බරබ්බස් ඔවුන්ට නිදහස්කරදුන්නේය. නුමුත් ඔහු යේසුස්වහන්සේට තළවා, උන්වහන්සේ කුරුසියෙහි ඇණගසනු ලබන්ට භාරදුන්නේය. එකල ආණ්ඩුකාරයාගේ හේවායෝ යේසුස්වහන්සේ ප්‍රේතෝරියම් ශාලාවට ගෙනගොස් මුළු හේවා කණ්ඩායම උන්වහන්සේ වෙතට රැස්කළෝය. ඔව්හු උන්වහන්සේගේ ඇඳුම් ගළවා, රතු සළුවක් උන්වහන්සේට හැඳෙවුවෝය. ඔව්හු කටු ඔටුන්නක් ගොතා උන්වහන්සේගේ හිසෙහි තබා, බටදණ්ඩක් දකුණතට දී, උන්වහන්සේ ඉදිරියෙහි දණ නමා: යුදෙව්වරුන්ගේ රජ්ජුරුවෙනි, ශුභසිද්ධවේවයි කියා උන්වහන්සේට කවටකම්කළෝය. ඔව්හු උන්වහන්සේට කෙළගසා, බටදණ්ඩ ගෙන උන්වහන්සේගේ හිසට ගැසුවෝය. උන්වහන්සේට කවටකම්කළ පසු ඔව්හු රතු සළුව ගළවා උන්වහන්සේගේම ඇඳුම් හඳවා, කුරුසියෙහි ඇණගසන පිණිස ගෙනගියෝය. ඔව්හු නික්ම යද්දී සීමොන් නම් කිරේනියේ මනුෂ්‍යයෙකු සම්බවී, උන්වහන්සේගේ කුරුසිය උසුලාගෙන යන්ට ඔහුට බලකළෝය. ඔව්හු ඉස්කබල ස්ථානය යන අර්ථ ඇති ගොල්ගොතා නම් ස්ථානයකට පැමිණ, තික්ත මිශ්‍රකළ මුද්‍රිකපානය උන්වහන්සේට බොන්ට දුන්නෝය. උන්වහන්සේ රස බලා බොන්ට නොකැමතිවූසේක. උන්වහන්සේ කුරුසියෙහි ඇණගැසූ පසු ඔව්හු උන්වහන්සේගේ ඇඳුම් දාදුදමා බෙදාගත්තෝය. ඔව්හු එහි හිඳගන උන්වහන්සේ රැකවල්කළෝය. තවද; මොහු යුදෙව්වරුන්ගේ රජවූ යේසුස්ය කියා උන්වහන්සේගේ වරද ලියා උන්වහන්සේගේ හිසට උඩින් තැබුවෝය. එවිට සොරු දෙදෙනෙක්, එක්කෙනෙක් දකුණු පැත්තෙහිද එක්කෙනෙක් වම් පැත්තෙහිද, උන්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබුවෝය. මග යන්නෝ තමුන්ගේ හිස් වන වනා උන්වහන්සේට නින්දාකරමින්: දේවමාළිගාව කඩාදමා තුන් දවසකින් ගොඩනගන්නාවූ නුඹ නුඹම ගළවා ගන්න. නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් කුරුසියෙන් බසින්නැයි කීවෝය. ඒ ආකාරයෙන්ම නායක පූජකයොත් ලියන්නන් හා වැඩිමහල්ලන් සමඟ උන්වහන්සේට කවටකම් කොට: ඔහු අනුන් ගැළවුවේය; තමාම ගළවාගන්ට නුපුළුවන. ඔහු ඉශ්‍රායෙල්වරුන්ගේ රජය; ඔහු දැන් කුරුසියෙන් බසීවා, එවිට අපි ඔහු අදහාගන්නෙමුව. ඔහු දෙවියන්වහන්සේ කෙරේ විශ්වාස කරන්නේය; උන්වහන්සේ ඔහුට ප්‍රිය වනසේක්නම් දැන් ඔහු මුදාහරිනසේක්වා. මක්නිසාද–මම දෙවියන්වහන්සේගේ පුත්‍රයෙමියි ඔහු කීවේයයි කීවෝය. උන්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනලද්දාවූ සොරුද එසේම උන්වහන්සේට නින්දාකළෝය.





