YouVersion Logo
Search Icon

ශු. මතෙව් 25:14-30

ශු. මතෙව් 25:14-30 SROV

කුමක්හෙයින්ද එය වනාහි අන් රටකට යන මනුෂ්‍යයෙක් තමාගේ දාසයන් කැඳවා, ඔවුන්ට තමා සන්තක දේ භාරදෙන්නාක්මෙන්ය. ඔහු එක්කෙනෙකුට තලෙන්ත පහක්ද එක්කෙනෙකුට දෙකක්ද එක්කෙනෙකුට එකක්ද බැගින් එකිනෙකාගේ පුළුවන්කමේ හැටියට දී තමාගේ ගමන ගියේය. තලෙන්ත පහ ලැබූ තැනැත්තේ එවලේම ගොස් එයින් වෙළඳාම්කොට තවත් තලෙන්ත පහක් ඉපදවූයේය. එසේම දෙක ලැබූ තැනැත්තේද තවත් දෙකක් උපදවාගත්තේය. නුමුත් එක ලැබූ තැනැත්තේ ඉවත්ව ගොස් පොළොව හාරා, තමාගේ ස්වාමියාගේ මිල සඟවා තැබුවේය. බොහෝ කලකට පසු ඒ දාසයන්ගේ ස්වාමියා ඇවිත් ඔවුන් සමඟ ගණන් බැලුවේය. එවිට තලෙන්ත පහ ලැබූ තැනැත්තේ තවත් තලෙන්ත පහක් ගෙනැවිත්: ස්වාමිනි, ඔබ මට තලෙන්ත පහක් භාරදුන්නෙහිය. මෙන්න, තවත් තලෙන්ත පහක් උපදවාගතිමියි කීවේය. ඔහුගේ ස්වාමියා ඔහුට කථාකොට: යහපත්වූ විශ්වාසවූ දාසය,ඒ යහපත ස්වල්ප දේ ගැන නුඹ විශ්වාසවූවෙහිය, බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරමි. නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල්වෙන්නැයි ඔහුට කීවේය. තලෙන්ත දෙක ලැබූ තැනැත්තේද ඇවිත්: ස්වාමිනි, ඔබ මට තලෙන්ත දෙකක් භාරදුන්නෙහිය. මෙන්න, තවත් තලෙන්ත දෙකක් උපදවාගතිමියි කීවේය. ඔහුගේ ස්වාමියා ඔහුට කථාකොට: යහපත්වු විශ්වාසවූ දාසය, ඒ යහපත; ස්වල්ප දේ ගැන නුඹ විශ්වාසවූවෙහිය, බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරමි. නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල්වෙන්නැයි ඔහුට කීවේය. එක තලෙන්තය ලැබු තැනැත්තේද ඇවිත්: ස්වාමිනි, ඔබ නොවපුළ තැනින් කපාගන්නාවූ, නොඉස්ස තැනින් රැස්කරන්නාවූ, කර්කස මනුෂ්‍යයෙකු බව දැනගතිමි. එබැවින් මම භයව ගොස්, ඔබගේ තලෙන්තය පොළොවේ සඟවා තැබීමි, මෙන්න, ඔබ සන්තක දේයයි කීවේය. ඔහුගේ ස්වාමියා ඔහුට උත්තරදෙමින්: දුෂ්ටවූ අලසවූ දාසය, මා නොවපුළ තැනින් කපාගන්න බවත් නොඉස්ස තැනින් රැස්කරගන්න බවත් නුඹ දැනගෙන සිටියෙහිද! එසේ නම් මාගේ මුදල මිල ගනුදෙනුකරන්නන්ට නුඹ විසින් දිය යුතුව තිබුණේය, එවිට මා ආ කල මට අයිති දේ පොළියත් සමඟ ලබන්ට තිබුණේය. එබැවින් ඔහුගෙන් තලෙන්තය හැරගෙන තලෙන්ත දසය ඇත්තාට දෙන්න. මක්නිසාද ඇති තැනැත්තාට දෙනු ලබන්නේය, ඔහුට බොහෝ වන්නේය. නුමුත් නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් පහකරනු ලබන්නේය. ඒ නිෂ්ප්‍රයෝජන දාසයා පිටත අන්ධකාරයෙහි දමන්න. එහිදී හැඬීමත් දත්මිටිකෑමත් වන්නේයයි කීවේය.