YouVersion Logo
Search Icon

ශු. මතෙව් 25:1-13

ශු. මතෙව් 25:1-13 SROV

එකල තමුන්ගේ පහන් රැගෙන මනමාලයාගේ පෙරමගට ගිය කන්‍යාවන් දස දෙනෙකුට ස්වර්ග රාජ්‍යය සමානකරනු ලැබේ. ඔවුන්ගෙන් පස්දෙනෙක් නුවණ නැත්තියෝය, පස්දෙනෙක් නුවණ ඇත්තියෝය. මක්නිසාද නුවණ නැත්තියෝ තමුන්ගේ පහන් ගෙනයද්දී තමුන් සමඟ තෙල් නොගෙනගියෝය. නුමුත් නුවණ ඇත්තියෝ තමුන්ගේ පහන් සමඟ තමුන්ගේ භාජනවල තෙල් ගෙනගියෝය. මනමාලයාගේ ඊම ප්‍රමාදවූ කල ඒ සියල්ලෝම නිදිබරව නිදාගත්තෝය. මධ්‍යම රාත්‍රියේ: අන්න, මනමාලයා එනවා! ඔහුගේ පෙරමගට එන්නැයි හඬක් වූයේය. එවිට ඒ සියලු කන්‍යාවෝ නැගිට තමුන්ගේ පහන් හරිගැස්සුවෝය. එකල නුවණ නැත්තියෝ: අපේ පහන් නිවීගන යන නිසා නුඹලාගේ තෙලින් අපටත් දෙන්නැයි නුවණ ඇත්තියන්ට කීවෝය. නුමුත් නුවණ ඇත්තියෝ උත්තරදෙමින්: සමහරවිට අපටත් නුඹලාටත් මදිවෙයි. එසේ නොව විකුණන්නන් ළඟට ගොස්, නුඹලාටම මිලේට ගන්නැයි කීවෝය. මිලේට ගන්ට ඔවුන් ගිය අතර මනමාලයා ආවේය; සෑදී සිටියෝ ඔහු සමඟ සරණ මංගල්‍යයට ඇතුල්වූවෝය. දොරද වසනලද්දේය. පසුව අනික් කන්‍යාවොත් ඇවිත්: ස්වාමිනි, ස්වාමිනි, අපට දොර හැරිය මැනවයි කීවෝය. නුමුත් ඔහු උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි, මම නුඹලා නාඳුනමියි කීවේය. එබැවින් දවසවත් පැයවත් නුඹලා නොදන්න නිසා අවදිව සිටින්න.