ශු. මතෙව් 23:1-12
ශු. මතෙව් 23:1-12 SROV
එකල යේසුස්වහන්සේ සමූහයන්ටත් තමන් ගෝලයන්ටත් කථාකොට: ලියන්නෝද ඵරිසිවරුද මෝසෙස්ගේ ආසනයෙහි හිඳිති. එබැවින් ඔවුන් නුඹලාට අණකරන සියල්ල ඉෂ්ටකර පවත්වන්න. නුමුත් ඔවුන්ගේ ක්‍රියා ලෙස නොකරන්න; මක්නිසාද ඔවුන් කියනවා මිස කරන්නේ නැත. එසේය, ඔව්හු උසුලන්ට අමාරු මහත් බර බැඳ මනුෂ්‍යයන්ගේ කරේ තබති; නුමුත් තමුන්ගේ ඇඟිල්ලවත් ඒවාට තබන්ට කැමති නොවෙති. ඔවුන් කරන සියල්ලම කරන්නේ මනුෂ්‍යයන්ට පෙනෙන පිණිසය. ඔව්හු තමුන්ගේ පිලාක්තරි පළල්කර (තමුන්ගේ වස්ත්‍රවල) දාවලු මහත් කරති, මංගල්‍යවලදී ප්‍රධාන ස්ථානයටද සිනගෝගවලදී ප්‍රධාන ආසනවලටද, වෙළඳාම්පළවලදී ආචාර ලැබීමටද මනුෂ්‍යයන් විසින් රබ්බියි කියනු ලැබීමටද කැමතිවෙති. නුමුත් නුඹලා රබ්බියි කියවා නොගන්න. මක්නිසාද නුඹලාගේ ආචාරීන්වහන්සේ එක්කෙනෙක්මය, නුඹලා සියල්ලෝම සහෝදරයෝය. පොළොවෙහි කාටවත් පියාණෝයයි නොකියන්න. මක්නිසාද නුඹලාගේ පියාණෝ එක්කෙනෙක්මය, එනම් ස්වර්ගයෙහි සිටින උන්වහන්සේමය. නුඹලා නායකයෝයයි කියවා නොගන්න. මක්නිසාද නුඹලාගේ නායකයාණෝ එක්කෙනෙක්මය. එනම් ක්‍රිස්තුස්වහන්සේය. නුමුත් නුඹලා අතරෙන් ඉතා උත්තමයා නුඹලාගේ සේවකයා වන්නේය. තමාම උසස්කරගන්න කවරෙක් නුමුත් පහත්කරනු ලබන්නේය; තමාම පහත්කරගන්න කවරෙක් නුමුත් උසස්කරනු ලබන්නේය.





