YouVersion Logo
Search Icon

ශු. මතෙව් 2

2
ශාස්ත්‍රවන්තයන්ගේ ඊම
1තවද හෙරොද් රජුගේ දවස්වල යුදයේ බෙත්ලෙහෙම්හි යේසුස්වහන්සේ උපන් කල, පූර්වදිශාවෙන් ශාස්ත්‍රවන්තයෝ යෙරුසලමට ඇවිත්: 2යුදෙව්වරුන්ට රජව උපන් තැනන්වහන්සේ කොතැන්හිද? මක්නිසාද අපි උන්වහන්සේගේ තාරකාව පූර්වදිශාවෙහිදී දැක, උන්වහන්සේට නමස්කාරකරන පිණිස ආවෙමුයයි කීවෝය. 3හෙරොද් රජ ඒ ඇසූ කල්හි ඔහුද ඔහු සමඟ මුළු යෙරුසලමද කැලඹුණෝය. 4එකල ඔහු සියලු නායක පූජකයන්ද සෙනඟගේ ලියන්නන්ද රැස්කරවා, ක්‍රිස්තුන්වහන්සේ කොතැන්හි උපදිනසේක්දැයි ඔවුන්ගෙන් විචාළේය. 5ඔව්හු කථාකොට: යුදයේ බෙත්ලෙහෙම්හිය, කුමක් හෙයින්ද–
6එම්බා බෙත්ලෙහෙම, යූදා දේශය, ‍ නුඹ යූදාගේ අධිපතීන් අතරෙහි කොයි ලෙසකින්වත් ඉතා කුඩා නොවන්නීය.
මක්නිසාද මාගේ ඉශ්‍රායෙල් සෙනඟ පාලනයකරන්නාවූ ආණ්ඩුකාරයෙක් නුඹ කෙරෙන් නික්මෙන්නේයයි
අනාගතවක්තෘ විසින් ලියා තිබේයයි ඔහුට කීවෝය. 7එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් රහසින් කැඳවා, තාරකාව කොයි කාලයෙහි පෙනුණේදැයි හරියාකාරයෙන් ඔවුන්ගෙන් දැනගෙන: 8නුඹලා ගොස් ඒ ළදරුවා ගැන හරියාකාරයෙන් විභාගකරන්න; නුඹලාට සම්බවූ කල, මාත් ගොස් උන්වහන්සේට නමස්කාරකරන පිණිස මට දන්වන්නය කියා, ඔවුන් බෙත්ලෙහෙමට යැවීය. 9ඔව්හු රජුගේ බස් අසා පිටත්ව ගියෝය; බලව, පූර්වදිශාවෙහිදී ඔවුන් දුටු තාරකාව ළදරුවා උන් තැන මුදුනට පැමිණ නවතින තුරු ඔවුන්ට පෙරටුව ගියේය. 10ඔව්හු තාරකාව දැක ඉතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවූවෝය. 11ඔව්හු ගෙට වැද, ළදරුවා ස්වකීය මවුවූ මරියා සමඟ සිටිනවා දැක, බිම වැටී උන්වහන්සේට නමස්කාරකොට, තමුන්ගේ කරඬු හැර, රන්ද කට්ටකුමංචල්ද සුවඳලාටුද යන පඬුරු උන්වහන්සේට පිදුවෝය. 12තවද හෙරොද් වෙතට නැවත නොයන ලෙස දෙවියන්වහන්සේ විසින් ස්වප්නයකින් දන්වනු ලැබ, ඔව්හු අන් මගකින් තමුන්ගේ රටට ගියෝය.
මිසරයට පලායාම
13ඔවුන් ගිය කල්හි ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ස්වප්නයකින් යෝසෙප්ට පෙනී: නැගිට ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන මිසරයට පලා ගොස්, මා ඔබට කියන තුරු එහි සිටින්න. මක්නිසාද හෙරොද් ළදරුවා විනාශකරන්ට සොයනවා ඇතැයි කීවේය. 14ඔහු නැගිට රාත්‍රියෙහි ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන මිසරයට ගොස්, 15හෙරොද්ගේ මරණය දක්වා එහි සිටියේය. මෙසේ වූයේ: මිසරයෙන් මාගේ පුත්‍රයා කැඳවාගතිමියි කියා ස්වාමීන්වහන්සේ විසින් අනාගතවක්තෘ කරණකොටගෙන කියනලද කීම සම්පූර්ණවන පිණිසය.
හෙරොද් රජ බෙත්ලෙහෙමේ කුඩා දරුවන් මැරවීම
16එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් විසින් තමා රවටනු ලැබූ බව දැක, ඉතා උදහස්ව, ඔවුන්ගෙන් හරියාකාර දැනගත් කාලයේ හැටියට, මනුෂ්‍යයන් යවා, බෙත්ලෙහෙම්හිද එහි සියලු සීමාවලද සිටි දෑවුරුදු වයස්වූද ඊට බාලවූද සියලු පිරිමි දරුවන් මැරෙවුවේය. 17එකල:
හැඬීමේද බොහෝ වැලපීමේද හඬක් රාමාහි ඇසුණේය;
රාඛෙල් ඇගේ දරුවන් ගැන අඬමින්, ඔවුන් නැති නිසා සැනසෙන්ට නොකැමතිවූවායයි
18අනාගතවක්තෘවූ යෙරෙමියා කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවිය.
මිසරයෙන් හැරී ඊම
19නුමුත් හෙරොද් මැරුණායින් පසු, බලව, ස්වාමීන්වහන්සේගේ දූතයෙක් මිසරයෙහිදී ස්වප්නයකින් යෝසෙප්ට පෙනී: 20නැගිට ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන ඉශ්‍රායෙල් දේශයට යන්න. මක්නිසාද ළදරුවාගේ ජීවිතය නසන්ට සෙවූ අය මළෝයයි කීවේය. 21එවිට ඔහු නැගිට ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන ඉශ්‍රායෙල් දේශයට ආවේය. 22එහෙත් අර්කෙලාවුස් තමාගේ පියවූ හෙරොද් වෙනුවට යුදය කෙරෙහි රජකම්කරන බව ඔහු අසා, එහි යන්ට භයව, දෙවියන්වහන්සේ විසින් ස්වප්නයකින් දන්වනු ලැබ, ගලීලයේ පළාත්වලට ගොස්, 23නාසරෙත් නම් නුවරට පැමිණ, එහි වාසයකෙළේය. මෙසේ වූයේ: උන්වහන්සේ නාසරියයෙක්යයි කියනු ලබනසේකැයි අනාගතවක්තෘවරුන් කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy