YouVersion Logo
Search Icon

ශු. මතෙව් 16:1-12

ශු. මතෙව් 16:1-12 SROV

ඵරිසිවරුද සද්දුසිවරුද ඇවිත් උන්වහන්සේ පරීක්ෂාකරමින්, තමුන්ට අහසෙන් ලකුණක් පෙන්වන්ට උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: සවස් වේලෙහි අහස රතුපාට නිසා හොඳ කාලයක් වන්නේය කියාත්, උදය අහස රතුපාටව, අඳුරුව තිබෙන නිසා අද කුණාටු දවසක් වන්නේය කියාත් නුඹලා කියවුය. නුඹලා අහස්තලය විමසන්ට දන්නහුය; එහෙත් කාලයන්ගේ ලකුණු විමසා දැනගන්ට නුඹලාට බැරිය. නපුරුවූ කාමමිථ්‍යාචාරිකවූ පරම්පරාවක් ලකුණක් සොයයි; නුමුත් අනාගතවක්තෘවූ යෝනාගේ ලකුණ හැර ඔවුන්ට වෙන ලකුණක් දෙනු නොලැබෙන්නේයයි කීසේක. උන්වහන්සේ ඔවුන් අත්හැර පිටත්ව ගියසේක. ගෝලයෝ එගොඩට පැමිණියෝය; රොටි ගෙනයන්ට ඔවුන්ට මතකනැති වුණේය. යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: ඵරිසිවරුන්ගේද සද්දුසිවරුන්ගේද මුහුන්වලින් ප්‍රවේසම්වෙන්ට බලා ගන්නැයි ඔවුන්ට කීසේක. ඔව්හු: අපි රොටි නොගෙනාමුයයි තම තමුන් අතරේ කථාකරගත්තෝය. යේසුස්වහන්සේ ඒ බව දැන: මඳ ඇදහිල්ල ඇත්තෙනි, නුඹලාට රොටි නැති නිසා කුමකට නුඹලා අතරෙහි කථාකර ගන්නහුද? නුඹලාට තවම තේරෙන්නේ නැද්ද? පන්දහසකට දුන් රොටි පහ ගැනත්, පැස් කීයක් පුරවාගත්තහුද කියාත්, සාරදහසකට දුන් රොටි සත ගැනත්, කූඩා කීයක් පුරවාගත්තහුද කියාත් මතක නැද්ද? රොටි ගැන මා විසින් නුඹලාට නොකී බව නුඹලාට තේරුම් නැත්තේ කොහොමද? නුමුත් ඵරිසිවරුන්ගේද සද්දුසිවරුන්ගේද මුහුන්වලින් ප්‍රවේසම්වෙන්නැයි කීසේක. එවිට උන්වහන්සේ ඵරිසිවරුන්ගේද සද්දුසිවරුන්ගේද ඉගැන්වීමෙන් මිස රොටිවල මුහුන්වලින් ප්‍රවේසම් වෙන්ට නොකී බව ඔව්හු තේරුම්ගත්තෝය.