YouVersion Logo
Search Icon

ශු. ලූක් 9:18-36

ශු. ලූක් 9:18-36 SROV

ඉන්පසු උන්වහන්සේ තනියම යාච්ඤා කරද්දී ගෝලයෝ උන්වහන්සේ සමඟ සිටියෝය. එවිට උන්වහන්සේ: මා කවුරුය කියා මනුෂ්‍යයෝ කියද්දැයි ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හු උත්තර දෙමින්: යොහන් බව්තීස්තය; එහෙත් සමහරෙක් එලියාය; අන් සමහරෙක්, පුරාණ අනාගතවක්තෘවරුන්ගෙන් එක්කෙනෙක් නැවත නැගිට සිටීය කියා කියතියි කීවෝය. නුමුත් නුඹලා මා කවුරුය කියනවාදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. පේතෘස් උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ ක්‍රිස්තුස්යයි කීවේය. උන්වහන්සේද මෙය කාටවත් නොකියන ලෙස ඔවුන්ට තදින් අණකොට: මනුෂ්‍ය පුත්‍රයා බොහෝ වධවිඳින්ටත් වැඩිමහල්ලන් විසින්ද නායක පූජකයන් විසින්ද ලියන්නන් විසින්ද එපාකරනු ලබන්ටත් මරනු ලබන්ටත් තුන්වෙනිදා නැගිටින්ටත් ඕනෑයයි කීසේක. උන්වහන්සේ සියල්ලන්ට කථාකොට: යමෙක් මා පස්සේ එන්ට කැමති නම්, ඔහු තමාගේම ආශා වලකාගෙන, දවස්පතා තමාගේ කුරුසිය රැගෙන, මා අනුව ඒවා. මක්නිසාද තමාගේ ජීවිතය ගළවාගන්නට කැමති අයට එය නැතිවේ; නුමුත් මා නිසා තමාගේ ජීවිතය නැතිකරගන්න අය එය ගළවාගන්නේය. මනුෂ්‍යයෙක් මුළු ලෝකය ලබාගත්තත් තමාම නැති කරගත්තොත් නොහොත් විනාශකර ගත්තොත් ඔහුට මොන ලාභයක්ද? මක්නිසාද යමෙක් මා ගැනත් මාගේ වචන ගැනත් ලජ්ජාවන්නේද, මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේද පියාණන්ගේද ශුද්ධවූ දේවදූතයන්ගේද තේජසින් යුක්තව එන කල උන්වහන්සේ ඔහු ගැනත් ලජ්ජාවනසේක. එහෙත් මෙහි සිටින්නන්ගෙන් සමහරෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින තුරු කිසිසේත් මරණ රසය නොවිඳින්නෝයයි සැබවින් නුඹලාට කියමියි කීසේක. තවද මේ වචන කියා අට දවසකට පමණ පසු උන්වහන්සේ පේතෘස්ද යොහන්ද යාකොබ්ද කැඳවාගෙන යාච්ඤාකරන පිණිස කන්දට නැගුණුසේක. උන්වහන්සේ යාච්ඤාකරද්දී උන්වහන්සේගේ මුහුණේ ආකාරය වෙනස්විය. උන්වහන්සේගේ වස්ත්‍ර සුදුව බැබළුණේය. එවිට මනුෂ්‍යයෝ දෙදෙනෙක් උන්වහන්සේ සමඟ කථාකළෝය, ඔව්හු නම් මෝසෙස් සහ එලියාය. ඔව්හු තේජසින් යුක්තව පෙනී, උන්වහන්සේ යෙරුසලමේදී සිදුකරන්ට තිබුණු උන්වහන්සේගේ ඉකුත්වීම ගැන කථාකරමින් සිටියෝය. පේතෘස්ද ඔහු සමඟ සිටියෝද නිදිබරව උන්නෝය. ඔව්හු හොඳටම පිබිද, උන්වහන්සේගේ තේජසද උන්වහන්සේ සමඟ සිටි මනුෂ්‍යයන් දෙදෙනාද දුටුවෝය. තවද ඔවුන් උන්වහන්සේ වෙතින් වෙන්ව යද්දී, පේතෘස් තමා කියන්නේ කුමක්දැයි නොදන්නේ: ආචාරිනි, අපට මෙහි සිටීම යහපත. එබැවින් කූඩාරම් තුනක් සාදමු; ඔබට එකක්ය, මෝසෙස්ට එකක්ය, එලියාට එකක්යයි උන්වහන්සේට කීවේය. ඔහු මේ කාරණා කියද්දීම වලාපටලයක් පැමිණ. ඔවුන් මත්තෙහි පැතිර තිබුණේය. වලාකුළට ඇතුල්වූ කල ඔව්හු භයවූවෝය. එවිට මේ මාගේ පුත්‍රයාණෝය, මාගේ තෝරාගත් තැනැත්තේය. මොහුට ඇහුම්කන්දෙන්නැයි වලාකුළෙන් හඬක් නික්මුණේය. ඒ හඬ පැමිණි කල යේසුස්වහන්සේ තනියම සිටිනවා පෙනුණේය. ඔව්හු නිශ්ශබ්දව සිට, තමුන් දුටු දේවලින් කිසිවක් ඒ දවස්වලදී කාටවත් නොකීවෝය.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy