YouVersion Logo
Search Icon

ශු. ලූක් 23:1-25

ශු. ලූක් 23:1-25 SROV

එවිට ඔවුන්ගේ මුළු සමූහයා නැගිට, උන්වහන්සේ පිලාත් ඉදිරිපිටට ගෙනගියෝය. ඔව්හු උන්වහන්සේට වරද තබන්ට පටන්ගෙන: මොහු අපගේ ජාතිය මුළාකරන බවද, කායිසර්ට ආදායම් දීම තහනම්කරන බවද, තමාම ක්‍රිස්තුස් රජයයි කියන බවද අපි දැනගතිමුයයි කීවෝය. පිලාත්ද: නුඹ යුදෙව්වරුන්ගේ රජදැයි උන්වහන්සේගෙන් ඇසුවේය. උන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: එසේයයි කීසේක. එවිට පිලාත් නායක පූජකයන්ටද සමූහයන්ටද කථාකොට: මේ මනුෂ්‍යයා අත කිසි වරදක් මට පෙනෙන්නේ නැතැයි කීවේය. නුමුත් ඔව්හු: මොහු ගලීලයේ පටන් මෙතැන දක්වා යුදය මුළුල්ලෙහි උගන්වමින්, සෙනඟ කලඹනවායයි වඩා තදින් කීවෝය. පිලාත් ඒ අසා, මේ මනුෂ්‍යයා ගලීලයෙක්දැයි විචාළේය. එවිට පිලාත් උන්වහන්සේ හෙරොද්ගේ නඩුකාර පළාතට අයිති බව දැන, හෙරොද් ඒ දවස්වලදී යෙරුසලමේ සිටි බැවින් ඔහු වෙතට උන්වහන්සේව යැවීය. හෙරොද් යේසුස්වහන්සේ දැක, ඉතා සන්තෝෂවූයේය. මක්නිසාද ඔහු උන්වහන්සේ ගැන අසා තිබුණු බැවින්, බොහෝ කලක සිට උන්වහන්සේ දකින්ට කැමතිව සිටියේය, උන්වහන්සේ යම් ආශ්චර්යයක් කරනවා දකින්ටද ඔහු බලාපොරොත්තුවූයේය. ඔහු බොහෝ වචනවලින් උන්වහන්සේගෙන් ප්‍රශ්න ඇසූ නුමුත්, උන්වහන්සේ කිසි උත්තරයක් ඔහුට නුදුන්සේක. නායක පූජකයෝද ලියන්නෝද නැඟිට සිට, තදලෙස උන්වහන්සේට වරද තැබුවෝය. හෙරොද් තමාගේ හේවායන් සමඟ උන්වහන්සේ සුළුකොට, උන්වහන්සේට සරදම්කොට, දිලිසෙන්නාවූ වස්ත්‍රයක් හඳවා, පිලාත් ළඟට උන්වහන්සේ ආපසු යැවීය. හෙරොද්ද පිලාත්ද ඒ දවසේදීම මිත්‍රවූවෝය. මක්නිසාද ඔව්හු පළමු එදිරිව සිටියෝය. පිලාත් නායක පූජකයන්ද මුලාදෑනීන්ද සෙනඟද රැස්කරවා, ඔවුන්ට කියනුයේ: නුඹලා මේ මනුෂ්‍යයා සෙනඟ මුළාකරන්නෙක් කියා මා ළඟට ගෙනාවහුය. බලව, නුඹලා ඉදිරියෙහිම මා විසින් ඔහු විභාගකළ විට, නුඹලා විසින් මොහු කෙරෙහි තබන ලද ඒ වරදවලින් කිසිවක් ඔහු අත මට සම්බ නූණේය. හෙරොද්ටත් සම්බවුණේ නැත. මක්නිසාද ඔහු අප ළඟට මොහු නැවත එවීය; බලව, මරණයට සුදුසු කිසිවක් ඔහු විසින් නොකරනලද්දේය. එබැවින් මම ඔහුට තළා, නිදහස්කොට හරිමියි කීයේය. මක්නිසාද ඒ මංගල්‍යයේදී එක්කෙනෙකු ඔහු විසින් ඔවුන්ට නිදස්කර දියයුතුව තිබුණේය. නුමුත් ඔවුන් සියල්ලෝම: මොහු පහකොට බරබ්බස් අපට නිදහස්කර දුනමැනවයි එක්ව මොරගැසුවෝය. බරබ්බස් වනාහි නුවරදී කළ කැරළිගැසීමක්ද මිනීමැරීමක්ද නිසා හිරගෙයි දමනලද කෙනෙක්ය. පිලාත් යේසුස්වහන්සේ මුදාහරින්ට කැමතිව, නැවතත් ඔවුන්ට කථාකෙළේය; නුමුත් ඔව්හු: මොහු කුරුසියෙහි ඇණගැසුව මැනව, කුරුසියෙහි ඇණගැසුව මැනව, කියා මොරගැසුවෝය. ඔහු තුන්වෙනි වර කථාකොට: කිමෙක්ද? මොහු කවර නපුරක් කෙළේද? මරණයට සුදුසු කිසිදෙයක් මොහු අත මට සම්බ නූණේය. එබැවින් මොහුට තළා මුදාහරිමියි ඔවුන්ට කීවේය. නුමුත් උන්වහන්සේ කුරුසියෙහි ඇණගසන ලෙසම ඔව්හු වඩ වඩා ශබ්දනගා ඉල්ලා සිටියෝය. තවද ඔවුන්ගේ මොරගැසීමට ජය ලැබුණේය. පිලාත් ඔවුන් ඉල්ලූ දේ ඉෂ්ට වෙන ලෙස තීන්දුව දුන්නේය. තවද ඔහු කැරළිගැසීමත් මිනීමැරීමත් නිසා හිරගෙයිලා සිටියාවූ ඔවුන් ඉල්ලුවාවූ තැනැත්තා ඔවුන්ට මුදාහැර, යේසුස්වහන්සේ ඔවුන්ගේ කැමැත්තට භාරදුන්නේය.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy