යෝෂුවා 6:6-15
යෝෂුවා 6:6-15 SROV
එවිට නූන්ගේ පුත්‍රවූ යෝෂුවා පූජකයන් කැඳවා ඔවුන්ට කථාකොට: ගිවිසුම් පෙට්ටිය උසුලා ගන්න, පූජකයෝ සත් දෙනෙක් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඉදිරිපිට බැටළු අං හොරණෑ සතක් රැගෙන යෙත්වයි කීවේය. ඔහු සෙනඟටත් කථාකොට: ඉදිරියට ගොස් නුවර වටේ යන්න, ආයුධ ගත් පුරුෂයෝ ස්වාමීන්වහන්සේගේ පෙට්ටියට පෙරටුව යෙත්වයි කීවේය. යෝෂුවා සෙනඟට කථාකොට නිමවූ කල, පූජකයෝ සත්දෙනා බැටළු අං හොරණෑ සත රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරිපිට යමින් හොරණෑ පිම්බෝය. ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද ඔවුන්ට පස්සෙන් ගියේය. සන්නද්ධවූ අය හොරණෑ පිඹින පූජකයන්ට පෙරටුව ගියෝය, හොරණෑ පිඹිමින් යද්දී අනික් අය පෙට්ටියට පස්සෙන් ගියෝය. යෝෂුවා සෙනඟට අණකොට කියනුයේ: ඔල්වර හඬ ගසන්ට මා විසින් නුඹලාට කියන දවස දක්වා නුඹලා ඔල්වරහඬ නොපැවැත්විය යුතුය, නුඹලාගේ කටහඬ ඇසෙන්ටවත් නුඹලාගේ කටින් කිසි වචනයක් නික්මෙන්ටවත් නොදිය යුතුය. මා කී විට ඔල්වර හඬ පවත්වන්නැයි කීවේය. මෙසේ ඔහු ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය එක වරක් නුවර වටකර යන්ට සැලැස්විය. ඔව්හු කඳවුරට අවුත් එහි නැවතුණෝය. යෝෂුවා අලුයම නැගුටුණේය, පූජකයෝද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය උසුලා ගත්තෝය. පූජකයෝ සත්දෙනා බැටළු අං හොරණෑ සත ගෙන ස්වාමීන්වහන්සේගේ පෙට්ටියට පෙරටුව නොනැවතී යමින් හොරණෑ පිම්බෝය. සන්නද්ධවූ අය ඔවුන්ට පෙරටුව ගියෝය; හොරණෑ පිඹිමින් යද්දී අනික් අය ස්වාමීන්වහන්සේගේ පෙට්ටියට පස්සෙන් ගියෝය. මෙසේ දෙවෙනි දවසේදී එක වරක් නුවර වටේට ගොස් කඳවුරට හැරී ආවෝය. සදවසක් ඔව්හු එසේ කළෝය. සත්වෙනි දින පහන්වන වේලේ ඔව්හු නැගිට එම ආකාරයෙන්ම සත් වරක් නුවර වටේට ගියෝය. එදා පමණක් ඔව්හු සත්වරක් නුවර වටේට ගියෝය.





