යෝෂුවා 4:1-9
යෝෂුවා 4:1-9 SROV
තවද මුළු සෙනඟ සම්පූර්ණයෙන් යොර්දානෙන් එතරවූ කල ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: නුඹලා එක එක ගෝත්‍රයෙන් එක්කෙනෙකු බැගින් මනුෂ්‍යයන් දොළොස්දෙනෙකු තෝරාගෙන, ඔවුන්ට අණකරමින්–නුඹලා මෙහි යොර්දාන් මැද පූජකයන්ගේ පාද ස්ථිරව පිහිටි තැන්හි ගල් දොළසක් රැගෙන නුඹලා සමඟ එතරට ගෙනගොස්, ඒවා නුඹලා අද රෑ නවාතැන් ගන්න ස්ථානයෙහි තබන්ට කියන්නැයි කීසේක. එවිට යෝෂුවා එක එක ගෝත්‍රයෙන් එක්කෙනෙකු බැගින් තමා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් නියමකළ මිනිසුන් දොළොස්දෙන කැඳවා, ඔවුන්ට කථාකොට: නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඉදිරියෙහි නුඹලා යොර්දාන මැදට ගොස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල ගණන ලෙස එකිනෙකා ගලක් බැගින් රැගෙන කරේ තබාගන යන්න. මෙසේ කරන්නේ ඒවා නුඹලා අතරේ සිහිවීම් ලකුණක් වන පිණිසය. මේ ගල් තිබෙන්නේ කුමටදැයි නුඹලාගේ දරුවන් මතු කාලයේ අසන විට, නුඹලා ඔවුන්ට කථාකර: ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි යොර්දානේ ජලය බෙදී ගිය නිසාය; පෙට්ටිය යොර්දානෙන් මෙතරට එන විට යොර්දාන් ජලය බෙදී ගියේය. මේ ගල්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සදාකාල සිහිවීමක් පිණිස වන්නේයයි කියන්නැයි කීවේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ යෝෂුවා අණකළ ප්‍රකාරයට කරමින් ස්වාමීන්වහන්සේ යෝෂුවාට කී ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල ගණන හැටියට යොර්දාන මැදින් ගල් දොළසක් රැගෙන, ඒවා තමුන් සමඟ මෙතරට ගෙනැවිත් ඔවුන් නැවතුණ ස්ථානයෙහි තැබුවෝය. යොර්දාන් මැද ගිවිසුම් පෙට්ටිය ගෙනගිය පූජකයන්ගේ පාද තිබුණු තැනද යෝෂුවා ගල් දොළසක් තැබුවේය. ඒවා අද දක්වා එහි තිබේ.





