යෝෂුවා 3:7-17
යෝෂුවා 3:7-17 SROV
ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: මා මෝසෙස් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටින බව සියලු ඉශ්රායෙල්වරුන් දැනගන්නා පිණිස ඔවුන්ගේ ඇස් හමුවෙහි නුඹ උසස් කරන්ට අද දවසේ පටන්ගන්නෙමි. නුඹ ගිවිසුම් පෙට්ටිය ගෙනයන පූජකයන්ට අණකොට: නුඹලා යොර්දාන් ජලය අද්දරට පැමුණුණාම යොර්දානේ නැවතී සිටින්නය කියා ඔවුන්ට කියන්නැයි කීවේය. යෝෂුවාද: නුඹලා මෙහි ළංවී නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ වචන අසන්නැයි ඉශ්රායෙල් පුත්‍රයන්ට කීවේය. යෝෂුවා කථාකොට: ජීවමාන දෙවියන්වහන්සේ නුඹලා අතරෙහි සිටින බවත් උන්වහන්සේ නොවරදවාම නුඹලා ඉදිරියෙන් කානානිවරුන්ද හිත්තීවරුන්ද හිවීවරුන්ද පෙරිස්සිවරුන්ද ගිර්ගාෂිවරුන්ද අමෝරිවරුන්ද යෙබූසිවරුන්ද පන්නාදමන බවත් නුඹලා මෙයින් දැනගන්නහුය. බලව, මුළු පොළොවේ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය නුඹලාට පෙරටුව යොර්දානට යන්නේය. එබැවින් එක එක ගෝත්‍රයෙන් එක්කෙනෙකු බැගින් ඉශ්රායෙල් ගෝත්‍රවලින් මනුෂ්‍යයන් දොළොස්දෙනෙකු තෝරාගන්න. මුළු පොළොවට ස්වාමිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන පූජකයන්ගේ පතුල් යොර්දාන් ජලයේ තබන විට යොර්දාන් ජලය එනම් ඉහළින් එන ජලය නැවතී එක ගොඩක් වී හිටිනවා ඇතැයි කීවේය. සෙනඟ යොර්දානෙන් එතරට යන්ට තමුන්ගේ කූඩාරම්වලින් නික්මගිය විට ගිවිසුම් පෙට්ටිය ගෙනයන පූජකයෝ සෙනඟට පෙරටුවෙන් සිටියෝය. පෙට්ටිය ගෙනයන්නන් යොර්දානට පැමිණි විටද පෙට්ටිය ගෙනයන පූජකයන්ගේ පාද ජලයේ අද්දර ගැලුණු විටද (ගොයම් කපන කාලය මුළුල්ලෙහි යොර්දානේ ජලය එහි සියලු ඉවුරු ඉක්මවා උතුරායයි) ඉහළින් බැස එන ජලය නැවතී ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවරවූ ආදාම් දක්වා, එක ගොඩක් වී නැංගේය. අරබා සමභූමියෙහි මුහුද එනම් ලුණු මුහුද දෙසට බැස යන ජලය තීන්දුවටම වෙන්වී ගියේය. සෙනඟද යෙරිකෝව ඉදිරියෙහි එතරට ගියෝය. ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන පූජකයෝ යොර්දාන් මැද වියලි භූමිය පිට ස්ථිරව සිටියෝය, මුළු සෙනඟ යොර්දානෙන් සම්පූර්ණයෙන් එතර වනතෙක් සියලු ඉශ්රායෙල්වරු වියලි බිම පිට ගියෝය.





