යෝෂුවා 22:1-9
යෝෂුවා 22:1-9 SROV
එවිට යෝෂුවා රූබෙන්වරුන්ද ගාද්වරුන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද කැඳවා, ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් නුඹලාට අණකළ සියල්ල නුඹලා පැවැත්තුවහුය, මා නුඹලාට අණකළ සියල්ල ගැන මාගේ හඬටත් කීකරුවූහුය. නුඹලා අද දවස දක්වා මෙපමණ දීර්ඝ කාලයක් නුඹලාගේ සහෝදරයන් අත්නෑර සිට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවේ භාරය රක්ෂාකළහුය. දැන් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාගේ සහෝදරයන්ට කී ප්‍රකාරයට ඔවුන්ට විශ්‍රාම දුන්සේක. නුඹලා ඉතින් හැරී ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් යොර්දානෙන් එගොඩ නුඹලාට දුන් උරුම දේශයෙහි නුඹලාගේ කූඩාරම්වලට යන්න. එහෙත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලා ප්‍රේමකොට, උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙමින්, උන්වහන්සේගේ ආඥා පවත්වා, උන්වහන්සේට ඇලුම්ව සිට, නුඹලාගේ මුළු සිතෙන්ද මුළු ආත්මයෙන්ද උන්වහන්සේට සේවය කරන හැටියට ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් නුඹලාට අණකළ ආඥාවද ව්‍යවස්ථාවද රක්ෂාකරන්ට හොඳාකාරයෙන් බලාගන්නැයි කීවේය. මෙසේ යෝෂුවා ඔවුන්ට ආශීර්වාදකොට ඔවුන් යන්ට හැරියේය. ඔව්හු තමුන්ගේ කූඩාරම්වලට යන්ට ගියෝය. මනස්සේගේ ගෝත්‍රයෙන් අර්ධයකට මෝසෙස් බාෂාන්හි උරුමයක් දී තිබුණේය. අනික් අර්ධයට යෝෂුවා ඔවුන්ගේ සහෝදරයන් අතරෙහි බස්නාහිරට යොර්දාන් මෙගොඩ උරුමයක් දුන්නේය. තවද යෝෂුවා ඔවුන්ගේ කූඩාරම්වලට ඔවුන් හරින කල ඔවුන්ට ආශීර්වාදකරමින්: නුඹලා බොහෝ ධනයද සිව්පාවුන් ඉතා මහත් ගණනක්ද රිදීද රන්ද පිත්තලද යකඩද බොහෝ වස්ත්‍රද ඇතුව නුඹලාගේ කූඩාරම්වලට ගොස්, නුඹලාගේ සතුරන්ගෙන් ගත් කොල්ලය නුඹලාගේ සහෝදරයන් සමඟ බෙදාගන්නැයි ඔවුන්ට කීවේය. එවිට රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු ලෙස තමුන් ලබාගන සිටිය තමුන්ගේ උරුම දේශය වන ගිලියද් දේශයට යන්ට කානාන් දේශයේ තිබෙන ෂීලෝහි සිට ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතින් පිටත්ව ගියෝය.




