YouVersion Logo
Search Icon

යෝෂුවා 18

18
ඉතුරු කොටස බෙදීම
1තවද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ෂීලෝහි රැස්ව සම්මුඛවීමේ කූඩාරම එහි පිහිටෙවුවාය. දේශයද ඔවුන් ඉදිරියෙහි යටත්ව තිබුණේය. 2තමුන්ගේ උරුමය නොලැබූ ගෝත්‍ර සතක් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ ඉතුරුව සිටියෝය. 3යෝෂුවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දී තිබෙන දේශය හිමිකරගැනීමට යන්ට නුඹලා කොපමණකල් ප්‍රමාදවන්නහුද? 4නුඹලා උදෙසා එක එක ගෝත්‍රයට මනුෂ්‍යයන් තුන් දෙනෙකු බැගින් පත්කරන්න. මම ඔවුන් යවන්නෙමි, ඔව්හු පිටත්ව දේශයෙහි ගමන්කොට තමුන්ගේ උරුමවලට සුදුසු ලෙස ඒක සටහන් කරගන මා වෙතට එන්නෝය. 5ඔව්හු ඒක සත් කොටසකට බෙදන්නෝය. යූදා දකුණු දිග තමාගේ සීමාව තුළ සිටීවා, යෝසෙප්ගේ වංශය උතුරු දිග තිබෙන තමුන්ගේ සීමාව තුළ සිටීවා. 6නුඹලා දේශය සත් කොටසකට බෙදා සටහන්කරගන, මෙහි මා ළඟට එන්න. මම අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලා වෙනුවට මෙහිදී පස ඇට දමන්නෙමි. 7මක්නිසාද ලෙවීවරුන්ට නුඹලා අතරෙහි කොටසක් නැත; ඔවුන්ගේ උරුමය වනාහි ස්වාමීන්වහන්සේගේ පූජක තනතුරය. ගාද්ටත් රූබෙන්ටත් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් ඔවුන්ට දුන්නාවූ ඔවුන්ගේ උරුමය නැගෙනහිරට යොර්දානෙන් එගොඩ ලැබී තිබේයයි කීවේය. 8ඒ මනුෂ්‍යයෝ පිටත්ව ගියෝය. යෝෂුවා දේශයේ සටහනක් ගැනීමට පිටත්ව යන අයට අණකරමින්: නුඹලා ගොස් ඒ දේශයෙහි ඇවිද ඒක සටහන්කරගන මා ළඟට හැරී එන්න, මම මෙහිදී ෂීලෝහිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලා උදෙසා පස ඇට දමන්නෙමියි කීවේය. 9ඒ මනුෂ්‍යයෝ දේශයෙහි ඇවිද, එය කොටස් සතකට බෙදා, නුවරවල ප්‍රකාරයට පොතක සටහන්කරගන, ෂීලෝහි කඳවුරේ යෝෂුවා ළගට ආවෝය. 10යෝෂුවා ඔවුන් උදෙසා ෂීලෝහිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පස ඇට දමා එහිදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කොට්ඨාසවල හැටියට ඔවුන්ට දේශය බෙදාදුන්නේය.
බෙන්යමින්ගේ කොටස
11බෙන්යමින් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ කොටස ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය. ඔවුන්ගේ කොටසේ පළාත යූදා පුත්‍රයන්ට හා යෝසෙප් පුත්‍රයන්ටත් අතරේ නියමවුණේය. 12උතුරු පැත්තෙහි ඔවුන්ගේ සීමාව යොර්දානේ සිට ගොස්, යෙරිකෝවට උතුරු පැත්තෙන් නැගී, කඳු රටෙහි බස්නාහිරට ගොස්, බෙත්-ආවන්හි කාන්තාරය ළඟ කෙළවරවුණේය. 13එතනින් සීමාව බෙතෙල් නම්වූ ලූස්ට ගොස්, දකුණු පැත්තෙන් ලූස් පසුකර පහළ බෙත්-හෝරොන්ට දකුණෙන් තිබෙන කන්දෙන් අටාරොත්-අද්දාර්ට බැස්සේය. 14එතනින් සීමාව බෙත්-හෝරොන් ඉදිරිපිට ඊට දකුණෙන් තිබෙන කන්දෙන් දකුණට බස්නාහිර පැත්තෙහි හැරීගොස්, යූදා පුත්‍රයන්ගේ නුවරක්වූ කිරියත්-යෙයාරීම් වන කිරියත්-බාල්හි කෙළවරවුණේය. බස්නාහිර පැත්ත මේය. 15දකුණු පැත්ත කිරියත්-යෙයාරීම්හි කෙළවර සිට පිහිටා තිබුණේය, සීමාවද බස්නාහිර දෙස නෙප්තෝවාහි දිය උල්පත ළඟට ගියේය. 16එතනින් සීමාව හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවත ඉදිරිපිට රෙඵාවරුන්ගේ මිටියාවතෙහි උතුරට තිබෙන කන්දේ කෙළවරට බැස, එතනින් යෙබූසිවරුන්ට දකුණු පැත්තෙන් තිබෙන හින්නොම්ගේ මිටියාවතට බැස, එතනින් ඒන්-රොගෙල්ට බැස්සේය. 17එය උතුරෙන් ගොස් ඒන්-ෂෙමෙෂ්ටත්, එතනින් අදුම්මීම්හි නැගුම ඉදිරිපිට තිබෙන ගෙලීලොත්ටත් පැමිණ, එතනින් රූබෙන්ගේ පුත්‍රවූ බොහන්ගේ ගල ළඟට බැස්සේය; 18එතනින් අරබා සමභූමිය ඉදිරිපිට උතුරු පැත්තෙන් ගොස් අරබා සමභූමියට බැස, 19එතනින් සීමාව උතුරු පැත්තෙන් බෙත්-හොග්ලාට ගොස්, යොර්දානේ දකුණු කෙළවරේ තිබෙන ලුණු මුහුදේ උතුරු වරායෙහි කෙළවරවුණේය. දකුණු සීමාව මේය. 20එහි නැගෙනහිර පැත්තේ සීමාව නම් යොර්දානය. බෙන්යමින් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට, වටකර සීමාවල හැටියට, ඔවුන්ගේ උරුමය මේය. 21බෙන්යමින් පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට ලැබුණ නුවරවල් නම්: යෙරිකෝවද බෙත්-හොග්ලාද ඒමෙක්-කෙශිශ්ද, 22බෙත්-අරබාද ශෙමාරයිම්ද බෙතෙල්ද, 23අව්වීම්ද පාරාද ඔප්‍රාද, 24කෙපර්-අම්මෝනිද ඔප්නීද ගෙබාද යන නුවරවල් දොළොස සහ ඒවායේ ගම්ය. 25ගිබියොන්ද රාමාද බෙයේරොත්ද, 26මිශ්පේද කෙපිරාද මොශාද, 27රෙකෙම්ද ඉර්පෙයෙල්ද තරලාද, 28ශේලාද එලෙප්ද යෙරුසලම වන යෙබූසියද ගිබෙයත්ද කිරියත්ද යන නුවරවල් දසසතර සහ ඒවායේ ගම්ය. බෙන්යමින් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ උරුමය මේය.

Currently Selected:

යෝෂුවා 18: SROV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy