විනිශ්චයකාරයන්ගේ පොත 2:6-15
විනිශ්චයකාරයන්ගේ පොත 2:6-15 SROV
යෝෂුවා සෙනඟ යන්ට හැරිය කල ඉශ්‍රායෙල් පුත්‍රයෝ දේශය හිමිකරගන්න පිණිස තම තමුන්ගේ උරුමවලට ගියෝය. සෙනඟ යෝෂුවාගේ සියලු දවස්වලද යෝෂුවාට පසුවත් ජීවත්ව සිටියාවූ, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා කළ උන්වහන්සේගේ සියලුම මහත් ක්‍රියා දුටුවාවූ වැඩිමහල්ලන්ගේ සියලු දවස්වලද ස්වාමීන්වහන්සේට සේවයකළෝය. ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ නූන්ගේ පුත්‍රවූ යෝෂුවා එකසිය දස අවුරුද්දක් වයස්ව මළේය. ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගයෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-හෙරෙස් නම් ඔහුගේ උරුම පළාතෙහි ඔහු තැන්පත්කළෝය. ඒ මුළු පරම්පරාවද තමුන්ගේ පියවරුන්ට එකතුවුණේය. ඔවුන්ට පසුව ස්වාමීන්වහන්සේවත් ඉශ්‍රායෙල් උදෙසා උන්වහන්සේ කළ ක්‍රියාවල්වත් නොදන්නාවූ වෙන පරම්පරාවක් නැගුටුණේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නපුරුව තිබෙන දේ කොට බාල් දේවතාවුන්ට සේවයකළෝය. ඔව්හු තමුන්ගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනාවාවූ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැර, අන් දෙවිවරුන්වූ තමුන් වටකර සිටිය මනුෂ්‍ය ජාතීන්ගේ දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට නමස්කාරකොට, ස්වාමීන්වහන්සේ කෝපකළෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ අත්හැර බාල්ටත් අෂ්ටාරොත්ටත් සේවයකළෝය. ස්වාමීන්වහන්සේගේ උදහසද ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවිළ උන්වහන්සේ ඔවුන් කොල්ලකාරයන් අතට පාවාදුන්සේක, ඔව්හු ඔවුන්ගෙන් කොල්ලකෑවෝය. තමුන්ගේ සතුරන්ට විරුද්ධව සිටින්ට තවත් ඔවුන්ට බැරිවෙන හැටියට උන්වහන්සේ ඔවුන් වටකර සිටිය සතුරන්ගේ අතට ඔවුන් පාවාදුන්සේක. ස්වාමීන්වහන්සේ කී ප්‍රකාරයටත් උන්වහන්සේ ඔවුන්ට දිවුරා තිබුණු හැටියටත් ස්වාමීන්වහන්සේගේ හස්තය ඔවුන් ගිය හැම තැනම නපුර පිණිස ඔවුන්ට විරුද්ධව තිබුණේය. ඔව්හු තද අමාරුවට පත්වුණෝය.





