විනිශ්චයකාරයන්ගේ පොත 11:1-15
විනිශ්චයකාරයන්ගේ පොත 11:1-15 SROV
ගිලියදීය යෙප්තා බලසම්පන්න වික්‍රමාන්විත මනුෂ්‍යයෙක්ව සිටියේය, ඔහු වේශ්‍යා ස්ත්‍රියෙකුගේ පුත්‍රයෙක. ගිලියද් තෙමේ යෙප්තා ඉපදවිය. ගිලියද්ගේ භාර්යාව ඔහු නිසා පුත්‍රයන් බිහිකළාය; ඔහුගේ භාර්යාවගේ පුත්‍රයන් වැඩිවයසට පැමිණි කල ඔව්හු යෙප්තාට කථාකොට: නුඹ අන්‍ය ස්ත්‍රියෙකුගේ පුතෙක් බැවින් අපේ පියාණන්ගේ ගෙදර උරුමක්කාරයෙක් නොවන්නෙහිය කියා ඔහු එළවා දැම්මෝය. එවිට යෙප්තා තමාගේ සහෝදරයන් ඉදිරියෙන් පලාගොස් ටෝබ් දේශයෙහි වාසය කෙළේය. කමකට නැති මනුෂ්‍යයෝ යෙප්තාට එකතුවී ඔහු කැටුව ගියෝය. කලකට පසු අම්මොන් පුත්‍රයෝ ඉශ්‍රායෙල්ට විරුද්ධව යුද්ධකළෝය. අම්මොන් පුත්‍රයන් ඉශ්‍රායෙල්ට විරුද්ධව යුද්ධකරන විට ගිලියද් වැඩිමහල්ලෝ ටෝබ් දේශයෙන් යෙප්තා කැඳවාගන එන්ට ගොස් ඔහුට කථාකොට: අප අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන පිණිස අපේ අධිපතියා වෙන්ට එන්නැයි කීවෝය. යෙප්තා: නුඹලා මා කෙරේ වෛර බැඳ මාගේ පියාගේ ගෙයින් මා පන්නා දැමුවා නොවේද? දැන් නුඹලාගේ විපතේදී මක්නිසා මා ළඟට ආවහුදැයි ගිලියද් වැඩිමහල්ලන්ට කීවේය. එවිට ගිලියද් වැඩිමහල්ලෝ: අප දැන් නැවත නුඹ ළඟට ආවේ නුඹ අප සමඟ ගොස් අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකර ගිලියද් වැසියන්වූ අප සියල්ලන්ට ප්‍රධානියා වෙන පිණිසයයි යෙප්තාට කීවෝය. යෙප්තා ගිලියද් වැඩිමහල්ලන්ට කථාකොට: අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන පිණිස නුඹලා මා නැවත කැඳවාගන ගියාම ස්වාමීන්වහන්සේ ඔවුන් මට පාවාදුන්නොත් මම නුඹලාගේ ප්‍රධානියා වන්නෙම්දැයි කීවේය. ගිලියද් වැඩිමහල්ලෝ: ස්වාමීන්වහන්සේ අප අතරේ සාක්ෂි වනසේක; සැබවින් නුඹේ වචනය ලෙස අපි කරන්නෙමුයයි යෙප්තාට කීවෝය. එවිට යෙප්තා ගිලියද් වැඩිමහල්ලන් සමඟ ගියේය, සෙනඟ වනාහි ඔහු තමුන්ගේ ප්‍රධානියාද අධිපතියාද කරගත්තෝය. යෙප්තා මිශ්පායේදී තමාගේ සියලු වචන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කීවේය. එවිට යෙප්තා අම්මොන් පුත්‍රයන්ගේ රජ වෙත පණිවිඩකාරයන් යවා: නුඹ මාගේ දේශයට විරුද්ධව යුද්ධකරන පිණිස මා ළඟට ආවේ මා සහ නුඹ අතරේ තිබෙන මොන කාරණයක් නිසාදැයි අසා ඇරියේය. අම්මොන් පුත්‍රයන්ගේ රජ යෙප්තාගේ පණිවිඩකාරයන්ට උත්තරදෙමින්: ඉශ්‍රායෙල් මිසරයෙන් ආ කල අර්ණොන් පටන් යබ්බොක් හා යොර්දාන දක්වා මාගේ දේශය පැහැරගත් නිසාය. එහෙයින් දැන් ඒ රටවල් සමාදානයෙන් ආපසු දෙන්නැයි කීවේය. යෙප්තා අම්මොන් පුත්‍රයන්ගේ රජ වෙතට නැවත පණිවිඩකාරයන් යවා: යෙප්තා මෙසේ කියන්නේය–ඉශ්‍රායෙල් මෝවබ් දේශයවත් අම්මොන් පුත්‍රයන්ගේ දේශයවත් පැහැරගත්තේ නැත.





