යාකොබ් 2:14-24
යාකොබ් 2:14-24 SROV
මාගේ සහෝදරයෙනි, තමාට ඇදහිල්ල ඇතැයි යමෙක් කියන නුමුත් ක්‍රියාවල් නැත්නම් මොන ප්‍රයෝජනයක්ද? ඒ ඇදහිල්ල නිසා ඔහුට ගැළවෙන්ට පුළුවන්ද? සහෝදරයෙක් නොහොත් සහෝදරියෙක් ඇඳුම් නැතුව, දවස්පතා කෑම නැතුව සිටිද්දී, නුඹලාගෙන් යමෙක්: සමාදානයෙන් යන්න, උණුහුම්වෙන්න, කෑම කා තෘප්තියට පැමිණෙන්නැයි ඔවුන්ට කියනවා මිස ශරීරයට ඕනෑ දේවල් නොදෙනවා නම්, මොන ප්‍රයෝජනයක්ද? එසේම ඇදහිල්ල ක්‍රියා නැතුව තනියම තිබේ නම් මැරිලාය. එසේය, යමෙක් කථාකොට: නුඹට ඇදහිල්ල තිබේ, මට ක්‍රියාවල් තිබේ. ක්‍රියා නැතුව නුඹේ ඇදහිල්ල මට පෙන්වන්න, මම මාගේ ක්‍රියාවලින් මාගේ ඇදහිල්ල පෙන්වන්නෙමියි කියනවා ඇත. ඇත්තේ එකම දෙවියන්වහන්සේ බව නුඹ විශ්වාසකරන්නෙහිය; නුඹ කරන එක හොඳය. යක්ෂයොත් විශ්වාසකර වෙවුලති. නුමුත්, හිස්වූ මනුෂ්‍යය, ක්‍රියා නැති ඇදහිල්ල නිෂ්ඵල බව නුඹ දැනගන්ට කැමතිද? අපේ පියවූ ආබ්‍රහම් තමාගේ පුත්‍රවූ ඊසාක් පූජාසනය පිට ඔප්පුකළ විට ක්‍රියාවලින් ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලැබුවා නොවේද? ඇදහිල්ල ඔහුගේ ක්‍රියාවල් සමඟ ක්‍රියාකළ බවත් ඇදහිල්ල ක්‍රියාවලින් සම්පූර්ණවූ බවත් නුඹට පෙනේ. මෙසේ: ආබ්‍රහම් දෙවියන්වහන්සේ විශ්වාස කෙළේය, එය ධර්මිෂ්ඨකම කොට ඔහුට ගණන්ගනු ලැබුවේය කියා තිබෙන ලියවිල්ල සම්පූර්ණවුණේය; තවද ඔහු දෙවියන්වහන්සේගේ මිත්‍රයායයි කියනු ලැබුවේය. මනුෂ්‍යයෙක් ඇදහිල්ල පමණකින් නොව ක්‍රියාවලිනුත් ධර්මිෂ්ඨකරනු ලබන බව නුඹලාට පෙනෙන්නේය.





