YouVersion Logo
Search Icon

යාකොබ් 2:1-13

යාකොබ් 2:1-13 SROV

මාගේ සහෝදරයෙනි, අපගේ තේජවන්ත ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිල්ල මනුෂ්‍යයන්ගේ තරාතිරම් සැලකීම ඇතුව නොදරන්න. රන් මුද්දක්ද අලංකාර වස්ත්‍රද පැළඳගන ඉන්න මනුෂ්‍යයෙකුත් කිලුටු ඇඳුම් ඇඳගන ඉන්න දිළින්දෙකුත් නුඹලාගේ සිනගෝගයට ආවොත්, නුඹලා අලංකාර වස්ත්‍ර පැළඳගන ඉන්න අය සලකා: මෙහි හොඳ තැනක හිඳගන්ටය කියාද, දිළින්දාට: නුඹ ඔහේ සිටින්න, නොහොත් මාගේ පාපුටුව ළඟ ඉඳගන්නැයි කියාද, කියනවා නම්, නුඹලා භේදවූ අදහස් ඇත්තෝව, නපුරු සිතිවිලිවලින් යුක්ත විනිශ්චයකාරයෝ නොවන්නෝද? මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, අසන්න; ඇදහිල්ලෙහි ධනවත්වන පිණිසත්, තමන්වහන්සේට ප්‍රේමකරන්නවුන්ට පොරොන්දුවූ රාජ්‍යයේ උරුමක්කාරයන් වන පිණිසත්, දෙවියන්වහන්සේ ලෝකයේ දිළින්දන් තෝරා නොගත්සේක්ද? නුමුත් නුඹලා දිළින්දාට අගෞරවකළහුය. ධනවතුන් නුඹලාට පීඩාකරනවා නොවේද? නඩුශාලාවලට නුඹලා ඇදගන යනවා නොවේද? නුඹලා දරන උතුම් නාමයට අපහාසකරන්නේ ඔවුන් නොවේද? එසේ වුවත්: නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව යන රාජකීය ව්‍යවස්ථාව ලියවිල්ලේ හැටියට පවත්වන්නහු නම්, නුඹලා කරන එක යහපත්ය. නුමුත් තරාතිරම් සලකන්නෝ නම්, නුඹලා වරදකාරයන් බව ව්‍යවස්ථාවෙන් ඔප්පුවෙන බැවින් නුඹලා කරන්නේ පාපයය. මක්නිසාද යමෙක් මුළු ව්‍යවස්ථාව රක්ෂාකොට, එක අණක් කඩකළේ නම්, ඔහු සියල්ල ගැන වරදකාරයෙක්වී සිටී. මක්නිසාද: කාමමිථ්‍යාචාරය නොකරවයි කී තැනන්වහන්සේ: මිනීනොමරව කියාත් කීසේක. ඉඳින් නුඹ කාමමිථ්‍යාචාරය නොකරන නුමුත්, මිනීමරනවා නම්, ව්‍යවස්ථාව කඩකරන්නෙක්ව සිටිනෙහිය. නිදහස්කමේ ව්‍යවස්ථාවකින් විනිශ්චයකරනු ලබන්ට සිටින තැනැත්තන් මෙන් කථාකරන්න, ක්‍රියාකරන්න. මක්නිසාද දයාව නොපෙන්වූ තැනැත්තාට විනිශ්චය දයාව නැතුව පැමිණෙන්නේය. දයාව වනාහි විනිශ්චයට විරුද්ධව ජයනාදකරන්නේය.