YouVersion Logo
Search Icon

යෙසායා 61

61
ආලේපලත් තැනැත්තාගේ මෙහෙය සහ එහි ඵල
1ස්වාමිවූ දෙවියන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට ස්වාමීන්වහන්සේ මා ආලේප කළසේක; බිඳුණු සිත් ඇත්තන් සුවකරන්ටද, වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශකරන්ටද, 2ස්වාමීන්වහන්සේගේ කරුණාවේ අවුරුද්ද සහ අපේ දෙවියන්වහන්සේගේ පළිගැනීමේ දවසත් ප්‍රකාශකරන්ටද, වැලපෙන සියල්ලන් සනසන්ටද, 3සියොන්හි වැලපෙන්නන් පළඳවමින්, අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප්‍රීතිය නැමති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමති වස්ත්‍රයත් ඔවුන්ට දෙන්ටද උන්වහන්සේ මා එවූසේක. මෙසේ කළේ ස්වාමීන්වහන්සේට ගෞරව ලැබීමට උන්වහන්සේ විසින් හිටෙවුවාවූ ධර්මිෂ්ඨකමේ අලෝන ගස්ය කියා ඔවුන් ගැන කියනු ලබන පිණිසය. 4ඔව්හු පරණ නටබුන් ඉඩම් ගොඩනගන්නෝය, ඉස්සර කාලයේ නටබුන්වූ තැන් හරිගස්සන්නෝය, නාස්තිවී පරම්පරාවෙන් පරම්පරාවට පාළුවට ගොස් තිබුණු නුවරවල් අලුත්වැඩියාකරන්නෝය. 5විදේශියෝ සිට නුඹලාගේ බැටළු රැළවල් පෝෂ්‍යකරන්නෝය, විදේශියෝ නුඹලාගේ ගොවියෝද නුඹලාගේ මිදිවතු වවන්නෝද වන්නෝය. 6නුඹලා වනාහි ස්වාමීන්වහන්සේගේ පූජකයෝයයි කියනු ලබන්නෝය. මනුෂ්‍යයන් නුඹලාට: අපේ දෙවියන්වහන්සේගේ සේවකයෝයයි කියනවා ඇත. නුඹලා ජාතීන්ගේ සම්පත් භුක්තිවිඳ, ඔවුන්ගේ තේජස හිමිකරගන්නවා ඇත. 7නුඹලාගේ ලජ්ජාව වෙනුවට දෙගුණයක් ලබන්නහුය; නින්දාව වෙනුවට ඔව්හු තමුන්ගේ කොටස ගැන ප්‍රීතිමත්වන්නෝය. එබැවින් ඔව්හු තමුන්ගේ දේශයෙහි දෙපංගුවක් භුක්තිවිඳින්නෝය. සදාකාල ප්‍රීතිය ඔවුන්ට වන්නේය. 8මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම යුක්තියට ප්‍රියව, අධර්මිෂ්ඨකමින් කොල්ලකෑමට ද්වේෂකරමි; ඉන් නිසා මම ඔවුන්ගේ විපාකය සැබෑකමින් දෙන්නෙමි, සදාකාල ගිවිසුමක්ද ඔවුන් සමඟ කරන්නෙමි. 9ඔවුන්ගේ වංශය ජාතීන් අතරේද ඔවුන්ගෙන් පැවතඑන්නෝ ජනයන් අතරේද ඇඳිනගනු ලැබෙත්. ඔවුන් ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාදලත් වංශය බව ඔවුන් දකින සියල්ලෝම දැනගන්නෝය.
10මම ස්වාමීන්වහන්සේ තුළ බොහෝසේ ප්‍රීතිවන්නෙමි, මාගේ ආත්මය මාගේ දෙවියන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය; මක්නිසාද මනමාලයා පූජක මකුටයක් දමාගන්නාක්මෙන්ද මනමාලි ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන්ද උන්වහන්සේ ගැළවීම නැමති වස්ත්‍ර මට පැළදෙවුසේක, ධර්මිෂ්ඨකම නැමති සළුවද මට පෙරෙවුසේක. 11මක්නිසාද පොළොව ස්වකීය දළු උපදවන්නාක්මෙන්ද උයන එහි වපුළ දේ ලියලවන්නාක්මෙන්ද ස්වාමිවූ දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨකම සහ ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියෙහි හටගන්වනවා ඇත.

Currently Selected:

යෙසායා 61: SROV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in