YouVersion Logo
Search Icon

හග්ගයි 2

2
පළමුවෙනි දෙවෙනි මාළිගා දෙක
1හත්වෙනි මාසයේ විසිඑක්වෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය අනාගතවක්තෘවූ හග්ගයි කරණකොටගෙන පැමිණ කියනුයේ: 2ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල්ටත් යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවාටත් සෙනඟගෙන් අනික් අයටත් කථාකොට මෙසේ කියන්න: 3මේ ගෘහය එහි පළමු තේජස ඇතුව තිබෙද්දී එය දුටු අයගෙන් නුඹලා අතරේ ඉතිරිව සිටින්නේ කවුද? මේක දැන් නුඹලාට පෙනෙන්නේ කොහොමද? මේක කිසිත් නැත්තාක්මෙන් නුඹලාගේ ඇස්වලට පෙනෙනවා නොවේද? 4එහෙත්, සෙරුබ්බාබෙල්, දැන් බලවත්ව සිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක; යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවා, නුඹත් බලවත්ව සිටින්න; දේශයේ සෙනඟ සියල්ලෙනි, නුඹලාත් බලවත්ව සිට වැඩකරන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද මම නුඹලා සමඟ සිටිමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. 5නුඹලා මිසරයෙන් පිටත්ව ආකල මා විසින් නුඹලා සමඟ ගිවිසගත් වචනයත් මාගේ ආත්මයත් නුඹලා අතරෙහි පවතින්නේය. භය නොවෙන්න. 6මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම ටික කලකින් තව වරක් අහස සහ පොළොවත් මුහුද සහ ගොඩත් සොලවන්නෙමි; 7සියලු ජාතීන් සොලවන්නෙමි, සියලු ජාතීන් ආශාවෙන දේද පැමිණෙන්නේය, මේ ගෘහය තේජසින් පුරවන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. 8රිදී මාගේය, රන්ද මාගේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. 9මේ ගෘහයේ අන්තිම තේජස පළමු ඒකේ තේජසට වඩා මහත්වන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. මේ ස්ථානයෙහිදී මම සමාදානය දෙන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.
පූජකයින්ගේ අපිරිසිදුකම සහ සෙනඟගේ පමාවීම ගැන ස්වාමීන්වහන්සේගේ දඬුවම
10දාරියුස්ගේ දෙවෙනි අවුරුද්දේ නවවෙනි මාසයේ විසිහතරවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය අනාගතවක්තෘවූ හග්ගයි කරණකොටගෙන පැමිණ කියනුයේ: 11සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට– 12යමෙක් තමාගේ වස්ත්‍ර කෙළවරින් ශුද්ධ මාංසය ගෙනයන විට ඒ වස්ත්‍ර කෙළවර රොටිවල හෝ හොදිවල හෝ මුද්‍රිකපානයෙහි හෝ තෙල්වල හෝ වෙන යම් කෑමක හෝ තැවරුණොත් ඒවා ශුද්ධවන්නේද කියා ව්‍යවස්ථාව ගැන පූජකයන්ගෙන් අසන්නැයි කියනසේක. පූජකයෝ උත්තරදෙමින්: නැතැයි කීවෝය. 13එවිට හග්ගයි: මළකඳකින් අපවිත්‍රවී සිටින කෙනෙක් ඒවායෙන් යමකට තැවරුණොත් එය අපවිත්‍රවේදැයි ඇසුවේය. පූජකයෝ උත්තරදෙමින්: අපවිත්‍රවේයයි කීවෝය. 14එවිට හග්ගයි උත්තරදෙමින් මෙසේ කීවේය: මා ඉදිරියෙහි මේ සෙනඟ එසේමය, මේ ජාතියද එසේමයයි ස්වාමීන්වහන්සේ කියනසේක; ඔවුන්ගේ අත්වල සියලු වැඩත් එසේමය; ඔවුන් එහි ඔප්පුකරන දේත් අපවිත්‍රය. 15එබැවින් අද දවසේ පටන් මත්තට සිතට ගන්න, ස්වාමීන්වහන්සේගේ මාළිගාවෙහි ගලක් පිට ගලක් තබන්ට පළමුවෙන් තිබුණු දවස්වල නම්, 16යමෙක් මිමි විස්සක් තිබුණු ගොඩක් ළඟට ආකල තිබුණේ මිමි දහයක්ය; යමෙක් පුරා මිමි පනහක් අරගන්ට මුද්‍රික පැස ළඟට ආ කල තිබුණේ විස්සක්ය. 17ගොයම් වියළීයාමෙන්ද ගොයම් රෝගයෙන්ද ගල් වර්ෂාවෙන්ද නුඹලාගේ අත්වල සියලු වැඩවලදී නුඹලාට පහරදුනිමි; එහෙත් නුඹලා මා වෙතට හැරුණේ නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක. 18අද දවස වන නවවෙනි මාසයේ විසිහතරවෙනිදා පටන් මත්තට සිතට ගන්න, එසේය, ස්වාමීන්වහන්සේගේ මාළිගාවේ අත්තිවාරම තැබූ දවසේ පටන් සිතට ගන්න. 19බීජ තවම අටුවෙහිද? එසේම මිදිවැලත් අත්තික්කා ගසත් දෙළුම් ගසත් ඔලීව ගසත් තවම ඵල දුන්නේ නැත; අද පටන් මම නුඹලාට ආශීර්වාදකරන්නෙමියි කීසේක.
රාජ්‍යවල් නැතිකරදැමීමට පොරොන්දුව
20තවද මාසයේ විසිහතරවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය දෙවෙනි වර හග්ගයි වෙතට පැමිණ මෙසේ කීය. 21යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල්ට කථාකොට මෙසේ කියන්න; මම අහස සහ පොළොවත් සොලවන්නෙමි. 22මම රාජ්‍යවල සිංහාසනය පෙරළාදමා, ජාතීන්ගේ රාජ්‍යවල බලය නැතිකොට, රථ සහ එහි නැගීයන්නන්ද පෙරළාදමන්නෙමි; අශ්වයෝද උන් පිට නැගී යන්නෝද එකිනෙකාගේ කඩුවෙන් වැටෙන්නෝය. 23සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට: ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ මාගේ මෙහෙකරුවාවූ සෙරුබ්බාබෙල්, මම ඒ දවසේදී නුඹ රැගෙන පේරස්මුද්දක් කොට තබාගන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද නුඹ තෝරාගතිමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.

Currently Selected:

හග්ගයි 2: SROV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in