YouVersion Logo
Search Icon

උත්පත්ති 6:5-22

උත්පත්ති 6:5-22 SROV

මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවද ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණත් නිරන්තරයෙන් නපුරුවම තිබෙන බවද ස්වාමීන්වහන්සේ දුටුසේක. තවද ස්වාමීන්වහන්සේ පොළොවෙහි මනුෂ්‍යයා සෑදූ බැවින් තැවී තමන් සිතෙන්ම ශෝකවූසේක. ස්වාමීන්වහන්සේ: මා විසින් මවනලද මනුෂ්‍යයා භූමිය මතුපිටින් නැතිකර දමන්නෙමි; මනුෂ්‍යයන්ද මෘගයන්ද බඩගායන සත්වයන්ද ආකාශයේ පක්ෂීන්ද නැතිකර දමන්නෙමි; මක්නිසාද මම ඔවුන් සෑදූ බැවින් තැවෙමියි කීසේක. එහෙත් නෝවා ස්වාමීන්වහන්සේ ගෙන් කරුණාව ලැබුයේය. නෝවාගේ පරම්පරා මේය. නෝවා ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්ව තමාගේ පරම්පරාවන්හි සම්පූර්ණව සිටියේය. නෝවා දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය. නෝවාට දාව ෂෙම්, හාම්, යඵෙත් යන පුත්‍රයන් තුන්දෙනෙක් උපන්නෝය. පොළොව දෙවියන්වහන්සේ ඉදිරියෙහි දූෂ්‍යවූවාය, පොළොව බලාත්කාරයෙන් පිරී තිබුණාය. දෙවියන්වහන්සේ පොළොව දෙස බැලූසේක; බලව, එය දූෂ්‍යව තිබුණාය; මක්නිසාද මාංසමයවූ සියල්ලෝ පොළොවෙහි තමන්ගේ මාර්ග දූෂ්‍යකරගන සිටියෝය. දෙවියන්වහන්සේ නෝවාට කථාකොට: මාංසමයවූ සියල්ලන් කරණකොටගෙන පොළොව බලාත්කාරයෙන් පිරී තිබෙන බැවින් ඔවුන්ගේ අන්තිමය මා ඉදිරියට පැමිණ තිබේ; බලව, මම ඔවුන් පොළොව හා සමඟ විනාශකරන්නෙමි. නුඹ ගොඵෙර් ලීවලින් නැවක් සාදාගන්න; නැවෙහි කාමර සාදා එහි ඇතුළත් පිටත් කීල් ගාන්න. නුඹ ඒක සෑදිය යුතු ආකාරය මේය. නැවේ දිග රියන් තුන්සියයක්ය, පළල රියන් පනසක්ය, උස රියන් තිහක්ය. නැවට කවුළුවක් සාදවා ඉහළින් ඒක රියනකින් නිමකරන්න; නැවේ දොර පැත්තකින් සාදන්න; පහළ තට්ටුවක්ද දෙවෙනි තුන්වෙනි තට්ටුද ඇතුව ඒක සාදන්න. බලව, අහස යට ජීවන හුස්ම ඇති මාංසමයවූ සියල්ලන් විනාශකරන පිණිස මම පොළොව පිටට ජලගැල්ම පමුණුවමි; පොළොවෙහි ඇත්තාවූ සියල්ල නසින්නේය. එහෙත් නුඹ සමඟ මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි; නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද නුඹේ භාර්යාවද නුඹේ පුත්‍රයන්ගේ භාර්යාවෝද නැවට ඇතුල්වන්නෝය. තවද මාංසමයවූ පණ ඇති සියල්ලන්ගෙන් නුඹ සමඟ පණ ඇතුව තබා ගන්න පිණිස එක එක වර්ගයේ ගෑනු පිරිමි දෙදෙනෙකු බැගින් නැවට ගෙනියන්න. ඒ ඒ වර්ගයේ පක්ෂීන්ගෙන්ද ඒ ඒ වර්ගයේ සිව්පාවුන්ගෙන්ද භූමියේ බඩගා යන ඒ ඒ වර්ගයේ සියල්ලන්ගෙන්ද පණ ඇතුව තබාගන්න පිණිස සියලු වර්ගවලින්ම දෙදෙනෙක් බැගින් නුඹ වෙතට පැමිණෙන්නෝය. කන්නාවූ සියලු ආකාර ආහාරයෙන් නුඹ වෙතට රැස්කරගන්න; ඒවා නුඹටද උන්ටද භෝජන පිණිස වන්නේයයි කීසේක. නෝවා එසේ කෙළේය; දෙවියන්වහන්සේ ඔහුට අණ කළ සියල්ල ලෙස ඔහු කෙළේය.