උත්පත්ති 3:2-10
උත්පත්ති 3:2-10 SROV
ස්ත්‍රීද: උයනේ ගස්වල ගෙඩි කන්ට අපට පුළුවන; එහෙත් දෙවියන්වහන්සේ–නුඹලා නොනසින පිණිස උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්ටවත් ඊට අතගසන්ටවත් එපායයි කීසේකැයි සර්පයාට කීවාය. සර්පයාද: නුඹලා ඇත්තටම නසින්නේ නැත; මක්නිසාද නුඹලා එයින් කන දවසෙහි නුඹලාගේ ඇස් ඇරෙන බවත් නුඹලා යහපත හා නපුර දැනගෙන දෙවියන්වහන්සේට සමාන වන බවත් දෙවියන්වහන්සේ දන්නාසේකැයි ස්ත්‍රීට කීය. ස්ත්‍රී වනාහි ඒ ගහ කෑමට හොඳ බවද එය ඇස්වලට ප්‍රිය බවද නුවණ ලැබීම සඳහා ආශාවිය යුතු ගහක් බවද දැක එහි ගෙඩිගෙන කෑවාය; ඈ තමා සමඟ සිටි තමාගේ පුරුෂයාටත් දුන්නාය, ඔහුද කෑවේය. එවිට ඔවුන් දෙදෙනාගේම ඇස් ඇරී තමන් නග්නව සිටින බව ඔව්හු දැනගත්තෝය; ඔව්හු අත්තික්කා කොළ මහා තමන්ට ඉණවැසුම් සාදාගත්තෝය. ඉක්බිති දිවාභාගයේ සිසිල් වේලේ ස්වාමිවූ දෙවියන්වහන්සේ උයනෙහි සක්මන්කරන ශබ්දය ඔවුන්ට ඇසුණේය. එවිට මනුෂ්‍යයා සහ ඔහුගේ භාර්යාව ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරියෙන් උයනේ ගස් අතරෙහි සැඟවුණෝය. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට හඬගසමින්: නුඹ කොහේදැයි ඔහුට කීසේක. ඔහු: මට ඔබවහන්සේගේ ශබ්දය උයනෙහිදී ඇසී මම නග්න බැවින් භයපත්ව සැඟවුණෙමියි කීය.





