YouVersion Logo
Search Icon

එසකියෙල් 31

31
මහත් කිහිරි රුකක් මෙන් ඵාරාවෝ කපාදමනු ලැබීම
1තවද එකොළොස්වෙනි අවුරුද්දේ තුන්වෙනි මාසයේ පළමුවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: 2මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජවූ ඵාරාවෝටත් ඔහුගේ සමූහයාටත් මෙසේ කියන්න–නුඹේ මහත්කමෙන් නුඹ කාට සමානද? 3මෙන්න, අෂූරියයා ශෝභන අතුද ඝන සෙවණක්ද ඇත්තාවූ, ඉතා උස්වූ, ලෙබනොන්හි කිහිරි ගසක්ය; එහි මුදුන වලාකුල් අතරෙහි වූයේය. 4ජලවලින් ඒක මහත්වී, ගැඹුරෙන්ද උස්වුණේය. ගැඹුරේ ගංගා එහි පාත්ති වටකර ගලා, එහි ඇළවල් වනයේ සියලු ගස් ළඟට පමුණුවනු ලැබීය. 5ඒ නිසා එහි උස වනයේ සියලු ගස්වලට වඩා වැඩිවිය; දළුලන විට බොහෝ වතුර ලැබුණු නිසා එහි අතු වැඩිවී, එහි රිකිලිද දික්වුණේය. 6ආකාශයේ සියලු පක්ෂීහු එහි අතුවල කූඩු සාදාගත්තෝය, එහි රිකිලි යට වනයේ සියලු මෘගයෝ පැටවු ගැහුවෝය, එහි සෙවෙණෙහි සියලු මහත් ජාතීහුද වාසයකළෝය. 7එහි මහත්කමෙන් සහ එහි අතුවල දීර්ඝකමෙන් ඒක අලංකාරව තිබුණේය. මක්නිසාද එහි මුල බොහෝ ජලයන් ළඟ තිබුණේය. 8දෙවියන්වහන්සේගේ උයනේ කිහිරි ගස්වලට ඒක සැඟවී නොතිබුණේය. දේවදාර ගස් එහි අතුවලට සමාන නොවීය, අර්මොන් ගස් එහි රිකිලිවලට සමව නොතිබුණේය; දෙවියන්වහන්සේගේ උයනෙහි කිසි ගසක් අලංකාරකමෙන් ඊට සමාන නොවීය. 9ඒකේ අතු රාශියෙන් මම එය අලංකාරකෙළෙමි. එබැවින් දෙවියන්වහන්සේගේ උයනවූ ඒදන්හි සියලුම ගස්ද ඊර්ෂ්‍යාවුණෝය.
10එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඔහු උසින් උසස්වී, ඔහුගේ මුදුන වලාකුල් අතරට ඇර, ඔහුගේ උසස්කමින් ඔහුගේ සිත උඩඟුවූ බැවින්, 11ජාතීන්ගේ බලවන්තයා කැමැති හැටියට ඔහුට කරන පිණිස ඒ අය අතට ඔහු පාවාදෙන්නෙමි. ඔහුගේ දුෂ්ටකම නිසා ඔහු එළවාදැමීමි. 12ජාතීන්ගෙන් ඉතා භයානක විදේශියෝ ඔහු කපාදමා හැරගියෝය. ඔහුගේ අතු කඳු පිටත් සියලු මිටියාවත්වලත් වැටුණේය, ඔහුගේ රිකිලි දේශයේ සියලු දෙණිවල කඩණු ලැබුවේය; පොළොවේ සියලු ජනයෝද ඔහුගේ සෙවණෙන් අහක්වී, ඔහු අත්හැර ගියෝය. 13ඔහුගේ වැටුණු කඳ පිට ආකාශයේ සියලු පක්ෂීහු ලගින්නෝය, ඔහුගේ අතු උඩ වනයේ සියලු මෘගයෝ හිඳින්නෝය. 14මෙසේ වන්නේ වතුර ලැබෙන සියලු ගස් ඒවායේ උස නිසා උඩඟුවෙන්ටත් ඒවායේ මුදුන් වලාකුල් අතරට අරින්ටත් වතුර බීගන්න ඒ සියල්ල ඒවායේ උස්කම නිසා තනියම සිටින්ටත් නොයෙදෙන පිණිසය. මක්නිසාද ඒ සියල්ලෝම පොළොවේ පහත් තැන්වල මිනීවළට බසිනවුන් ළඟට යන්ට මනුෂ්‍ය පුත්‍රයන් අතරෙහිම මරණයට පාවාදෙනු ලැබුවෝය.
15ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඔහු පාතාලයට බැස්ස දවසේදී වැලපීමක් කෙළෙමි. ඔහු ගැන ගැඹුර වසා ඒකේ ගැලීම නැවැත්වීමි, මහත් ජලවල්ද නැවතුණේය. ලෙබනොන් ඔහු ගැන වැලපෙන්ට සැලැස්වීමි, බැද්දේ සියලු ගස්ද ඔහු ගැන මැලවුණේය. 16මිනීවළට බසින්නන් සමඟ මා විසින් ඔහු පාතාලයට බැස්සෙවූ කල ඔහුගේ වැටීමේ ශබ්දයට ජාතීන් වෙවුලෙවුවෙමි. එවිට ඒදන්හි සියලු ගස්ද ලෙබනොන්හි ඉතා හොඳ වටිනා ගස්ද, එනම් වතුර බීගන්න සියල්ලම, පොළොවේ පහත් තැනදී සැනසුණෝය. 17ජාතීන් අතරේ ඔහුගේ සෙවනෙහි වාසයකළාවූ, ඔහුගේ හස්තයව සිටියාවූ තැනැත්තෝද කඩුවෙන් මැරුම්කෑ අය ළඟට ඔහු සමඟ පාතාලයට බැස්සෝය.
18නුඹ එසේ මහිමයෙන්ද උතුම්කමෙන්ද ඒදන්හි ගස්වලින් කොයි එකට සමානව සිටිනෙහිද? නුඹත් ඒදන්හි ගස් සමඟ පොළොවේ පහත් තැන්වලට බැස, කඩුවෙන් මැරුම්කෑ අය සමඟ අචර්මඡේදිතයන් අතරෙහි වැටී ඉන්නවා ඇත. ඵාරාවෝට සහ ඔහුගේ මුළු සමූහයාටත් එයාකාරවේය කියා ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy