YouVersion Logo
Search Icon

එසකියෙල් 11

11
දුෂ්ට මූලිකයින් විනාශවන බවට තර්ජනය. පිටවහල්වී සිටි යුදෙව්වන්ට සැනසීම
1තවද ආත්මය මා උස්සාගන ගොස් නැගෙනහිර දෙසට තිබෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයේ නැගෙනහිර දොරටුවට මා පැමිණෙවුවේය. බලව, මනුෂ්‍යයන් විසිපස් දෙනෙක් දොරකඩ සිටියෝය; ඔවුන් අතරේ සෙනඟගේ අධිපතියන් වන අස්සුර්ගේ පුත්‍රවූ යාසනියාද බෙනායාගේ පුත්‍රවූ පෙලතියාද සිටිනවා දුටිමි. 2උන්වහන්සේද: මනුෂ්‍ය පුත්‍රය, මේ නුවර දුෂ්ටකම් යෝජනාකරන්නාවූ, නපුරු මන්ත්‍රණ යොදන්නාවූ මනුෂ්‍යයෝ මොව්හුය. 3මොව්හු කථාකොට–ගෙවල් ගොඩනගන්ට කාලය ළං නොවීය. හැළිය නම් මේ නුවරය, මාංසය අපියයි කියති. 4එබැවින් ඔවුන්ට විරුද්ධව අනාගතවාක්‍ය කියන්න, මනුෂ්‍ය පුත්‍රය, අනාගතවාක්‍ය කියන්නැයි මට කීසේක. 5එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය මා කෙරෙහි පැමිණ කියනුයේ: ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේකැයි කියන්න–අනේ, ඉශ්‍රායෙල් වංශය, නුඹලා එසේ කීවහුය; නුඹලාගේ සිත්වල හටගන්නා දේවල් දනිමි. 6නුඹලා මේ නුවර තුළ බොහෝසෙයින්ම මිනීමරා එහි වීථි මැරුම්කෑවුන්ගෙන් පුරවා තිබේ. 7එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මාංසය නම් නුවර තුළ නුඹලා විසින් දැමුවාවූ, නුඹලා අතින් මැරුම්කෑවාවූ අයය; හැළිය මේ නුවරය. නුඹලා වනාහි මෙය තුළෙන් පිටකරන්නෙමි. 8නුඹලා කඩුවට භයව සිටිහුය; මමද නුඹලා පිටට කඩුව පමුණුවන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. 9මම නුඹලා මෙය තුළෙන් පිටකර, විදේශීන් අතට නුඹලා පාවාදී, විනිශ්චයන් නුඹලා කෙරෙහි ඉෂ්ටකරන්නෙමි. 10නුඹලා කඩුවෙන් වැටෙනවා ඇත; ඉශ්‍රායෙල් සීමාවේදී නුඹලා විනිශ්චයකරන්නෙමි; එසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය. 11මේ නුවර නුඹලාගේ හැළිය නොවන්නේය, නුඹලා මෙය තුළ මාංසයද නොවන්නහුය; ඉශ්‍රායෙල් සීමාවේදී නුඹලා විනිශ්චයකරන්නෙමි; 12එසේ මාගේ නියෝග ප්‍රකාර නොහැසිර, මාගේ විනිශ්චයන් ඉෂ්ට නොකොට, නුඹලා අවට සිටින ජාතීන්ගේ පනත් ප්‍රකාරයට කළාවූ නුඹලා මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නවා ඇතැයි කීසේක. 13මා විසින් එසේ අනාගතවාක්‍ය කියද්දී බෙනායාගේ පුත්‍රවූ පෙලතියා මළේය. එවිට මම මුහුණින් වැටී: අනේ, දෙවියන්වහන්ස! ඉතිරිව සිටින ඉශ්‍රායෙල්වරුන් ඔබ තීන්දුවටම නැතිකරනසේක්දැයි මහත් හඬින් මොරගසා කීවෙමි.
14තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: 15මනුෂ්‍ය පුත්‍රය, නුඹේ සහෝදරයන්ට එනම් නුඹේ සහෝදරයන් වන නුඹේ නෑයන්ගේ මනුෂ්‍යයින්ටද ඉශ්‍රායෙල් මුළු වංශයේ සියල්ලන්ටද යෙරුසලම් වැසියෝ කථාකොට–නුඹලා ස්වාමීන්වහන්සේගෙන් ඈත්ව සිටින්න; උරුමයක්-කොට මේ දේශය දී තිබෙන්නේ අපටයයි කීවෝය. 16එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න: මා විසින් ජාතීන් අතරට ඔවුන් එළවා, දුර දේශවල ඔවුන් විසිරෙවු නුමුත්, ඔවුන් පැමිණ සිටින දේශවලදී මම ස්වල්ප කලකට ඔවුන්ට ශුද්ධස්ථානයක් වන්නෙමියි කීසේක. 17එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න: මම ජනයන් අතුරෙන් නුඹලා එකතුකර, නුඹලා විසිර සිටින දේශවලින් නුඹලා රැස්කොට, ඉශ්‍රායෙල් රට නුඹලාට දෙන්නෙමි. 18ඔවුන් එහි පැමිණ, එහි සියලු අශික්ෂිත දේද එහි සියලු පිළිකුල්කම්ද එතනින් පහකරනවා ඇත. 19මම ඔවුන්ට එක සිතක් දෙන්නෙමි, අලුත් ආත්මයක්ද නුඹලා තුළ තබන්නෙමි. ඔවුන් මාගේ පනත් ප්‍රකාර හැසිර, මාගේ නියෝග රක්ෂාකොට පවත්වන පිණිස, 20ඔවුන්ගේ මාංසයෙන් ගල් සිත පහකොට මාංසමයවූ සිතක් ඔවුන්ට දෙන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝය, මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. 21නුමුත් තමුන්ගේ අශික්ෂිතකම්ද තමුන්ගේ පිළිකුල්කම්ද කෙරෙහි තිබෙන ආශාව ලෙස සිත ඇදීයන්නාවූ අයගේ හිස් පිටට ඔවුන්ගේ මාර්ගය පමුණුවන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය. 22එකල කෙරුබ්වරු තමුන්ගේ පියාපත් එසෙවුවෝය, රෝදත් ඔවුන් එක්වම තිබුණේය; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජස ඔවුන්ට උඩින් තිබුණේය. 23ස්වාමීන්වහන්සේගේ තේජස නුවර තුළෙන් නැගී ගොස් නුවරට නැගෙනහිරින් තිබෙන කන්ද උඩ සිටියේය. 24එවිට ආත්මය මා ඔසවා කල්දියාවෙහි වහල්ව සිටියවුන් ළඟට දෙවියන්වහන්සේගේ ආත්මය කරණකොටගෙන දර්ශනයෙන් මා පැමිණෙවුවේය. මෙසේ මා දුටු දර්ශනයද මා වෙතින් නැගී ගියේය. 25මමද ස්වාමීන්වහන්සේ මට පෙන්වූ සියලු දේ වහල්කමේ සිටියවුන්ට කීවෙමි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy