YouVersion Logo
Search Icon

එපීස 3

3
ක්‍රිස්තුස්වහන්සේගේ රහස හෙවත් ශුභාරංචිය අන්‍යජාතීන්ටත් අයිති බව
1මේ කාරණය නිසා අන්‍යජාතිකයන්වූ නුඹලා උදෙසා ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ සිහිරකාරවූ පාවුල් නම් මම [යාච්ඤාකරමි]. 2නුඹලා උදෙසා මට දෙනලද දෙවියන්වහන්සේගේ ඒ කරුණාවේ ගබඩාකාරකම ගැන නුඹලා අසන්ට ඇත; 3එනම්, මා විසින් ඉහත ලුහුඬින් ලියා තිබෙන ලෙස එළිදරව් කිරීම කරණකොටගෙන ඒ රහස මට ප්‍රකාශවූ බවය. 4ඒ ප්‍රකාරයට නුඹලා එය කියවන විට ක්‍රිස්තුස්වහන්සේගේ රහස ගැන මට තිබෙන දැනගැන්ම නුඹලාට තේරුම්ගන්ට පුළුවන; 5එය උන්වහන්සේගේ ශුද්ධ ප්‍රේරිතයන්ටත් ප්‍රොපේතවරුන්ටත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන දැන් එළිදරව් කර තිබෙන ලෙස වෙන පරම්පරාවලදී මනුෂ්‍ය පුත්‍රයන්ට දන්වනු නොලැබුවේය; 6එනම් ශුභාරංචිය කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ, අන්‍යජාතීන් හවුල් උරුමක්කාරයන් බවත්, ශරීරයේ හවුල් අවයවයන් බවත්, පොරොන්දුවට හවුල්කාරයන් බවත්ය, 7දෙවියන්වහන්සේගේ බලයේ ක්‍රියාකිරීමේ ප්‍රකාරයට මට දෙනලද උන්වහන්සේගේ ඒ කරුණාවේ දීමනාව හැටියට මම ඒ ශුභාරංචියේ සේවකයෙක් කරනු ලැබුවෙමි. 8සියලු ශුද්ධවන්තයන්ගෙන් ඉතා කුඩා තැනැත්තාවූ මට මේ අනුග්‍රහය දෙනලද්දේ ක්‍රිස්තුස්වහන්සේගේ සොයා දැනගත නොහැකි සම්පත ගැන අන්‍යජාතීන්ට දේශනාකරන්ටත්, 9සියල්ල මැවුවාවූ දෙවියන්වහන්සේ තුළ සියලු කාලවල පටන් සැඟවී තිබුණාවූ රහසේ නියමය කිමෙක්ද කියා සියල්ලන්ට පෙන්වන පිණිසත්ය. 10එසේ කළේ අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ විසින් අභිප්‍රායකරනලද සදාකාල අභිප්‍රායේ ප්‍රකාරයට, 11ස්වර්ගීය ස්ථානවල අධිපතීන්ටත් බලධාරීන්ටත් මේ කාලයෙහි සභාව කරණකොටගෙන උන්වහන්සේගේ අනේකවිධ ප්‍රඥාව දැනගන්ට ලැබෙන පිණිසය. 12ක්‍රිස්තුස්වහන්සේ තුළ අපේ ඇදහිල්ල කරණකොටගෙන නිර්භීතකමත්, සැක නැතුව ළංවන්ට පුළුවන්කමත්, උන්වහන්සේ තුළ අපට තිබේ. 13එහෙයින් නුඹලාගේ ගෞරවයට හේතුවූ, නුඹලා නිසා මා විඳින්නාවූ දුක් ගැන ක්ලාන්ත නොවෙන ලෙස ඉල්ලමි.
මේසා විශාල ප්‍රේමය සභාව විසින් තේරුම්ගන්නා ලෙස යාච්ඤාකිරීම
14මේ නිසා ස්වර්ගයෙහිද පොළොවෙහිද, 15ඒ ඒ ගෝත්‍රයට නම් දෙන්නාවූ පියාණන්වහන්සේට මම මාගේ දණනමා, 16උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ නුඹලා බලයෙන් ශක්තිමත් වන පිණිසත්, 17ඇදහිල්ල කරණකොටගෙන ක්‍රිස්තුස්වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසයකරන පිණිසත්, නුඹලා ප්‍රේමයෙහි මුල් ඇද පිහිටා සිට, 18දෙවියන්වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණවන පිණිස සියලු ශුද්ධවන්තයන් සමඟ ක්‍රිස්තුස්වහන්සේගේ දැනගත නොහැකි ප්‍රේමය දැනගෙන, 19එහි පළල, දිග, උස, ගැඹුර කිමෙක්ද කියා තේරුම්ගන්ට නුඹලාට පුළුවන්වන පිණිසත්, උන්වහන්සේගේ මහිමයේ සම්පෙත් හැටියට නුඹලාට දෙන මෙන් යාච්ඤාකරමි.
20ඉතින් අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේටම, 21සියලු පරම්පරාවන් දක්වා සභාවෙහි ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සදාකාලයටම ගෞරවය වේවා ආමෙන්.

Currently Selected:

එපීස 3: SROV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in