YouVersion Logo
Search Icon

ආමොස් 5

5
පසුතැවිලිවීමට තද ඉල්ලීමක්
1එම්බා ඉශ්‍රායෙල් වංශය, මා විසින් නුඹලා ගැන පවත්වන විලාපයවන මේ වචනය අසන්න. 2ඉශ්‍රායෙල් කන්‍යාව වැටුණාය; ඈ තවත් නොනැගිටින්නීය. ඈ නැගුටුවන්ට කිසිවෙක් නැතුව ඇගේ භූමිය පිට ඈ වැටී ඉන්නවාය. 3මක්නිසාද: යම් නුවරකින් දහසක් පිටත්ව ගියෝද ඔවුන්ගෙන් සිය දෙනෙක්ද, යම් නුවරකින් සියයක් පිටත්ව ගියෝද ඔවුන්ගෙන් දසදෙනෙක්ද ඉශ්‍රායෙල් වංශයට ඉතුරුවන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. 4එසේය, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් වංශයට මෙසේ කියනසේක: 5මා සොයන්න, එවිට නුඹලා ජීවත්වන්නහුය. නුමුත් බෙතෙල් නොසොයන්න, ගිල්ගාල්ට ඇතුල් නොවෙන්න, බෙයර්-ෂෙබාට නොයන්න. මක්නිසාද ගිල්ගාල් සැබවින් වහල්කමට යනවා ඇත, බෙතෙල්ද හිස්කමට පැමිණෙවා ඇත. 6යුක්තිය කොසඹවලට හරවන්නාවූ, ධර්මිෂ්ඨකම බිම හෙළන්නාවූ තැනැත්තෙනි, 7ස්වාමීන්වහන්සේ සොයන්න, එවිට නුඹලා ජීවත්වන්නහුය; නැත්නම් උන්වහන්සේ ගින්නක් මෙන් යෝසෙප් වංශය පිටට පැමිණෙනවා ඇත, බෙතෙල්හි නිවන්ට කෙනෙක් නැතුව එය ඇවිළෙනවා ඇත. 8උන්වහන්සේ නම් හත්දින්නද මුවසිරසද සෑදුවාවූ, මරණ සෙවණ උදයේ එළියට හරවන්නාවූ, දවාල රාත්‍රිය මෙන් අන්ධකාරකරන්නාවූ, මුහුදේ ජලයට අඬගසා ඒවා පොළෝ තලයෙහි වත්කරන්නාවූ, යෙහෝවා යන නාමය ඇත්තාවූ තැනන්වහන්සේය. 9උන්වහන්සේ බලය ඇත්තා පිටට විනාශය හදිසියෙන් පමුණුවනසේක, විනාශය බලකොටුව පිටට පැමිණෙනවා ඇත. 10දොරටුවෙහි අවවාදකරන්නාට ඔව්හු වෛරවෙති, අවංකලෙස කථාකරන්නාටද පිළිකුල්කරති. 11එබැවින් නුඹලා දුප්පතා පාගා, ඔහුගෙන් ධාන්‍ය-ඔතු ගන්න නිසා, නුඹලා කැපූ ගල්වලින් ගෙවල් ගොඩනගාගන සිටින නුමුත් නුඹලා ඒවායේ වාසය නොකරන්නහුය; නුඹලා ප්‍රියවූ මිදිවතු වවාගන සිටින නුමුත් එයින් මුද්‍රිකපානය නොබොන්නහුය. 12මක්නිසාද නුඹලාගේ වරදවල් කොපමණ වැඩිව, නුඹලාගේ පාපවල් කොපමණ තදබලව තිබෙනවාද කියාදනිමි; නුඹලා ධර්මිෂ්ඨයාට පීඩාකරන්නහුය, අල්ලසක් ගෙන, යුක්තිය නොකොට දිළිඳුන් දොරටුවෙහි අහක්කරන්නහුය. 13එබැවින් ඒ කාලය නපුරු නිසා නුවණ ඇත්තා ඒ කාලයෙහි නිශ්ශබ්දව සිටින්නේය. 14නුඹලා ජීවත්වන පිණිස නපුර නොව යහපත සොයන්න. එවිට සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා කියන ලෙස නුඹලා සමඟ සිටිනසේක. 15නපුරට ද්වේෂකර, යහපතට ප්‍රේමවී, දොරටුවෙහි යුක්තිය පිහිටුවන්න. සමහරවිට සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ යෝසෙප්ගේ ඉතිරි අයට දයාවෙනවා ඇත.
ස්වාමීන්වහන්සේගේ දවස
16එබැවින් ස්වාමිවූ සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: සියලු පළල් මාවත්වල වැලපීමවන්නේය; සියලු වීථිවල ඔව්හු-අනේ, අනේයයි කියන්නෝය; වැලපෙන පිණිස ගොවියාටත් විලාප කියන පිණිස ළතෝනි කීමෙහි දක්ෂ අයටත් අඬගසන්නෝය. 17සියලු මිදිවතුවලත් වැලපීම වන්නේය. මක්නිසාද නුඹ මැදින් යන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. 18ස්වාමීන්වහන්සේගේ දවසට ආශාවන්නෙනි, නුඹලාට දුක්වේ! ස්වාමීන්වහන්සේගේ දවස නුඹලාට ඕනෑකරන්නේ මක්නිසාද? එය ආලෝකය නොව අන්ධකාරයය. 19එය සිංහයෙකු ඉදිරියෙන් මනුෂ්‍යයෙක් පලායද්දී වලසෙකුට අසුවෙන්නාක්මෙන්ය; නොහොත් ගෙට ඇතුල්වී තමාගේ අත භිත්තියේ තබන විට සර්පයෙක් ඔහුට දෂ්ටකරන්නාක්මෙන්ය. 20ස්වාමීන්වහන්සේගේ දවස එළිය නොව අඳුර නොවන්නේද? දීප්තියක් නැතිව ඉතා කළුවරව නොතිබෙන්නේද?
ධර්මිෂ්ඨකම නැති නමස්කාරය ස්වාමීන්වහන්සේට පිළිකුල් බව
21නුඹලාගේ මංගල්‍යවලට ද්වේෂකර ඒවා සුළුකොට සිතමි, නුඹලාගේ මංගල්‍ය රැස්වීම්වලටද මම ප්‍රසන්න නොවෙමි. 22නුඹලා දවන පූජාද නුඹලාගේ ආහාර පූජාද මට ඔප්පුකරන නුමුත් ඒවා පිළිනොගන්නෙමි. නුඹලාගේ තර සතුන්ගෙන් ඔප්පුකරන ශාන්ති පූජාවන්ද නොසලකන්නෙමි. 23නුඹේ ගීතිකා ඝෝෂාව මා වෙතින් අහක්කරගන්න; නුඹේ වීණා නාදයත් නාසන්නෙමි. 24නුමුත් යුක්තිය ජලය මෙන්ද ධර්මිෂ්ඨකම බලවත් දියපාරක් මෙන්ද ගලායාවා. 25එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලා යාගද ආහාර පූජාද කාන්තාරයේදී සතළිස් අවුරුද්දක් මට ඔප්පු කළහුද? 26එසේය, නුඹලාගේ රජුගේ මණ්ඩපයත් නුඹලා සාදාගත්තාවූ නුඹලාගේ දේවරූපවූ කීයුන් වන නුඹලාගේ දෙවියන්ගේ තාරකාවත් නුඹලා ගෙනගියහුය. 27ඒ නිසා දමස්කයෙන් එපිටට වහල්කමට නුඹලා යවන්නෙමියි සේනාවල දෙවියන්වහන්සේ නම්වූ ස්වාමීන්වහන්සේ කියනසේක.

Currently Selected:

ආමොස් 5: SROV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in