YouVersion Logo
Search Icon

2 රාජාවලිය 5

5
නාමන්ගේ කුෂ්ඨය සුවකිරීම
1සිරියේ රජුගේ සේනාපතියාවූ නාමන් තමාගේ ස්වාමියා වෙත උත්තමයෙක්ව ගරුකරනු ලැබූ මනුෂ්‍යයෙක්ව සිටියේය, මක්නිසාද ඔහු කරණකොටගෙන ස්වාමීන්වහන්සේ සිරියවරුන්ට ජය දී තිබුණේය. හෙතෙම බලසම්පන්න වික්‍රමාන්විත කෙනෙක්වූ නුමුත් කුෂ්ඨ රෝගියෙක් විය. 2සිරියවරුන් හමුදා වශයෙන් පිටත්ව ගිය විටක ඔවුන් ඉශ්‍රායෙල් දේශයෙන් කුඩා කෙල්ලක් අල්ලාගෙන ඇවිත් තිබුණේය; ඈ නාමන්ගේ භාර්යාවට සේවයකළාය. 3ඈ වනාහි ඇගේ ස්වාමිදුවට කථාකොට: මාගේ ස්වාමියා සමාරියේ අනාගතවක්තෘ ඉදිරියෙහි පෙනීසිටියොත් හොඳය, එවිට ඔහු ඔහුගේ කුෂ්ඨය සුවකරනවා ඇතැයි කීවාය. 4එවිට එක්කෙනෙක් ඇතුළට ගොස්: ඉශ්‍රායෙල් දේශයෙන් ආ කෙල්ල මේ මේ හැටියට කීවාය කියා තමාගේ ස්වාමියාට කීය. නාමන්ගේ කුෂ්ඨය සුවකිරීම 5සිරියේ රජද: ඉතින් නුඹ එහි යන්න, මම ඉශ්‍රායෙල් රජුට ලියුමක් හරින්නෙමියි කීවේය. ඔහු රිදී තලෙන්ත දසයකුත් රන් ෂෙකෙල් හදාහකුත් ඇඳුම් කුට්ටම් දසයකුත් රැගෙන පිටත්ව ගියේය. 6ඔහු ඒ ලියුම ඉශ්‍රායෙල් රජ වෙතට ගෙනාවේය. මේ ලියුම ඔබට ලැබුණාම නාමන් නම් මාගේ සේවකයාගේ කුෂ්ඨය සුවකරන පිණිස ඔහු ඔබ ළඟට එවීමියි එහි ලියා තිබුණේය. 7ඉශ්‍රායෙල් රජ ලියුම කියවා තමාගේ ඇඳුම් ඉරාගෙන: මනුෂ්‍යයෙකුගේ කුෂ්ඨය සුවකරන්ට කියා මොහු මට ලියා එවන්නේ මරන්ටත් ජීවත්කරන්ටත් මම දෙවියන්වහන්සේද? මොහු මට විරුද්ධව ඩබරයකට කාරණයක් සොයන හැටි කල්පනාකර බලන්නැයි කීවේය. 8ඉශ්‍රායෙල් රජු තමාගේ ඇඳුම් ඉරාගත් බව දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ එලිෂා අසා: නුඹ මක්නිසා නුඹේ ඇඳුම් ඉරාගත්තෙහිද? ඔහු මා ළඟට ආවාවේ, එවිට ඔහු ඉශ්‍රායෙල්හි අනාගතවක්තෘ කෙනෙකු සිටින බව දැනගන්නේයයි රජුට කියා ඇරියේය. 9මෙසේ නාමන් තමාගේ අශ්වයන්ද රථද ඇතුව අවුත් එලිෂාගේ ගෙයි දොරකඩ ළඟ සිටියේය. 10එලිෂා: නුඹ ගොස් යොර්දානෙහි සත් වරක් නාන්න, එවිට නුඹේ මාංසය හරිගැහී නුඹ පවිත්‍රවන්නෙහියයි පණිවිඩකාරයෙකු අත කියා ඇරියේය. 11නුමුත් නාමන් කෝපව යන්ට ගියේය, හෙතෙම කියනුයේ: ඔහු පිටතට මා ළඟට ඇවිත් සිටගන, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකර, කුෂ්ඨය මත්තෙහි තමාගේ අත වනා රෝගියා සුවකරනවා ඇතැයි සිතුවෙමි. 12දමස්කයෙහි ගංගා වන අබානා සහ පර්පර් ඉශ්‍රායෙල් දේශයේ සියලු ජලවලට වඩා හොඳ නොවේද? ඒවායේ නාලා පවිත්‍රවෙන්ට මට බැරිදැයි කීවේය. මෙසේ ඔහු කෝපයෙන් හැරී ගියේය. 13ඔහුගේ සේවකයෝ ළඟට අවුත් ඔහුට කථාකර: මාගේ පියාණෙනි, අනාගතවක්තෘ මහත් දෙයක් කරන්ට ඔබට කීවේ නම් ඔබ කරන්නේ නැද්ද? එසේවී නම් නාලා පවිත්‍රවන්නැයි ඔහු ඔබට කී කල ඒක කරන්ට බැරිදැයි කීවෝය. 14එවිට ඔහු බැස ගොස් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ කීම ලෙස යොර්දානෙහි සත්වරක් ගිලුණේය. ඔහුගේ මාංසයද කුඩා ළමයෙකුගේ මාංසය මෙන් හරි ගැහී ඔහු පවිත්‍රවුණේය. 15එවිට ඔහු තමාගේ මුළු පිරිවර සමඟ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට හැරී ඇවිත් ඔහු ඉදිරියේ සිට කථාකොට: ඉතින් ඉශ්‍රායෙල්හි සිටින දෙවියන්වහන්සේ මිස මුළු පොළොවේ වෙන දෙවිකෙනෙක් නැති බව දැන් දනිමි. එබැවින් දැන් ඔබගේ මෙහෙකරුවාගෙන් සතුටු පඬුරක් පිළිගත මැනවැයි කීවේය. 16ඔහුද: මා සේවයකරන ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම කිසිවක් පිළිනොගනිමියි කීවේය. එවිට ඔහු එය පිළිගන්න හැටියට ඔහුට පෙරැත්ත කෙළේය; එහෙත් ඔහු නොකැමති විය. 17එවිට නාමන්: එසේ නැත්නම් අශ්වතරයන් දෙන්නෙකුගේ බරට පස්වත් ඔබගේ මෙහෙකරුවාට ලැබේවා; මක්නිසාද මින් මතු ඔබගේ මෙහෙකරුවා ස්වාමීන්වහන්සේට මිස වෙන දෙවිවරුන්ට දවන පූජාවක්වත් යාගයක්වත් ඔප්පුකරන්නේ නැත. 18මේ කාරණය ගැන ස්වාමීන්වහන්සේ ඔබගේ මෙහෙකරුවාට කමාවනසේක්වා: එනම්, මාගේ ස්වාමියා රිම්මොන්ගේ ගෘහයෙහි වඳින්ට එහි මාගේ අතේ හේත්තුවී යන විට මාත් රිම්මොන්ගේ ගෘහයෙහිදී වැන්දොත්, එසේ රිම්මොන්ගේ ගෘහයෙහිදී වඳින විට, ස්වාමීන්වහන්සේ ඒ කාරණය ගැන ඔබගේ මෙහෙකරුවාට කමාවනසේක්වයි කීවේය. 19ඔහුද: සමාදානයෙන් පලයන්නැයි ඔහුට කීවේය. එවිට ඔහු එලිෂා වෙතින් පිටත්ව ටිකක් දුර ගියේය.
ගෙහාසී කෙරෙහි දඬුවම් පැමිණවීම
20එකල දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වන එලිෂාගේ වැඩකාරයාවූ ගෙහාසී කල්පනාකොට: බලව, මාගේ ස්වාමියා මේ සිරියවූ නාමන් ගෙනා දේවල් ඔහුගේ අතින් පිළිනොගෙන නිකම් ඇරියේය. ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, මම ඔහු පස්සේ දිවගොස් ඔහුගෙන් මොකවත් ලබාගනිමියි කීවේය. 21මෙසේ ගෙහාසී නාමන් පස්සේ ගියේය. නාමන් තමා පස්සේ කෙනෙක් දුවගන එනවා දැක ඔහු සම්බවෙන්ට රථයෙන් බැස: සියල්ල හොඳදැයි ඇසීය. 22ඔහුද: සියල්ල හොඳය; මාගේ ස්වාමියා–ශිෂ්‍ය ප්‍රොපේතවරුන්ගෙන් තරුණයෝ දෙදෙනෙක් එප්‍රායිම් කඳු රටේ සිට මේ දැන් මා වෙතට ආවෝය; ඔවුන්ට රිදී තලෙන්තයකුත් ඇඳුම් කුට්ටම් දෙකකුත් දුනමැනවැයි කියන්ට මා එවුවේයයි කීවේය. 23නාමන්ද: නුඹ තලෙන්ත දෙකක් ගන්ට සතුටු වෙන්නැයි කියා ඔහුට පෙරැත්ත කර, රිදී තලෙන්ත දෙකක් මලු දෙකක බැඳ, ඇඳුම් කුට්ටම් දෙකකුත් සමඟ තමාගේ වැඩකාරයන් දෙදෙනෙකු පිට තැබුවේය; ඔව්හු ඔහුට පෙරටුවෙන් ඒවා උසුලාගෙන ගියෝය. 24හෙල ළඟට පැමිණි විට ඔහු ඔවුන් අතින් ඒවා රැගෙන ගෙයි තබා ඒ මනුෂ්‍යයන් යන්ට හැරියේය, ඔව්හු ගියෝය. 25ඔහු වනාහි ඇතුල්වී තමාගේ ස්වාමියා ඉදිරියෙහි සිටියේය. එලිෂා කථාකොට: ගෙහාසී, නුඹ කොහේ ගොහින් ආවා දැයි ඔහුගෙන් ඇසීය. ඔබගේ මෙහෙකරුවා කොහේවත් ගියේ නැතැයි ඔහු කීවේය. 26එලිෂා: ඒ මනුෂ්‍යයා තමාගේ රථයෙන් බැස නුඹ සම්බවෙන්ට හැරී ආ විට මාගේ ආත්මය නුඹ සමඟ ගියේ නැද්ද? මේක මුදල් පිළිගන්ටත් ඇඳුම්ද ඔලීවවතුද මිදිවතුද බැටළුවන්ද ගවයන්ද දාස දාසීන්ද පිළිගන්ටත් වේලාවක්ද? 27එබැවින් නාමන්ගේ කුෂ්ඨය නුඹටත් නුඹේ වංශයටත් නිරතුරම වැළඳෙන්නේයයි ඔහුට කීවේය. එවිට ඔහු හිම මෙන් කුෂ්ඨය ඇතුව ඔහු වෙතින් පිටතට ගියේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy