2 රාජාවලිය 1:1-9
2 රාජාවලිය 1:1-9 SROV
ආහබ් මැරුණු පසු මෝවබ්වරු ඉශ්‍රායෙල්ට විරුද්ධව කැරළිගැසුවෝය. තවද අහසියා සමාරියෙහි තමාගේ උඩුමහලේ ගරාදි අතරෙන් වැටී රෝගාතුරවිය. නුඹලා ගොස් මම මේ රෝගයෙන් සුවවෙන්නෙම්දැයි එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්නැයි කියා ඔහු පණිවිඩකාරයන් ඇරියේය. නුමුත් ස්වාමීන්වහන්සේගේ දූතයා තිෂ්බිය එලියාට කථාකොට: නැගිට සමාරියේ රජුගේ පණිවිඩකාරයන්ගේ පෙරමගට ගොස්–නුඹලා එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්ට යන්නේ ඉශ්‍රායෙල්හි දෙවි කෙනෙක් නැති නිසාද? එබැවින්–නුඹ නැගී ඉන්න ඇඳෙන් නොබැස සැබවින් මැරෙන්නෙහියයි ස්වාමීන්වහන්සේ වදාරනසේක කියා ඔවුන්ට කියන්නැයි කීවේය. එලියා පිටත්ව ගියේය. එවිට පණිවිඩකාරයෝ රජු ළඟට හැරී ආවෝය, නුඹලා හැරී ආවේ මක්නිසාදැයි ඔහු ඔවුන්ගෙන් ඇසුවේය. ඔව්හු: මනුෂ්‍යයෙක් අපේ පෙරමගට ඇවිත්–නුඹලා එවූ රජු ළඟට හැරී ගොස්: නුඹ එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්ට අරින්නේ ඉශ්‍රායෙල්හි දෙවි කෙනෙක් නැති නිසාද? එබැවින් නුඹ ඉන්න ඇඳෙන් නොබැස සැබවින් මැරෙන්නෙහියයි ස්වාමීන්වහන්සේ වදාරනසේක කියා ඔහුට කියන්නැයි අපට කීවෝය. නුඹලාගේ පෙරමගට ඇවිත් මේ වචන නුඹලාට කී මනුෂ්‍යයාගේ අන්දම කොයි හැටිදැයි ඔහු ඔවුන්ගෙන් ඇසුවේය. ඔව්හු ඔහුට උත්තරදෙමින්: ඔහු ලෝම වස්ත්‍රයක් ඇඳ ඉඟටියෙහි සම්පටියක් බැඳගත් මනුෂ්‍යයෙකැයි කීවෝය. ඔහු: ඒ තිෂ්බිය එලියායයි කීවේය. එවිට රජ පනසාධිපතියෙකු ඔහුගේ පනස්දෙනා සමඟ ඔහු වෙතට ඇරියේය. හෙතෙමේ කන්ද මුදුනේ හිඳගන උන් එලියා ළඟට ගොස්: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, බැස එන්න කියා රජු කියන්නේයයි ඔහුට කීවේය.




