YouVersion Logo
Search Icon

1 තෙසලෝනික 2

2
ප්‍රේරිත තැන ඔවුන් අතර කල් යැවූ අන්දම. තමාගේ මෙහෙය ගැන කරුණු කියා පෑම
1මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා වෙතට අපේ පැමිණීම නිෂ්ඵලවී නැති බව නුඹලාම දන්නහුය. 2නුඹලා දන්න හැටියට අපි ප්‍රථමකොට පිලිප්පියේදී දුක්ද නිග්‍රහද ලැබූ නුමුත්, මහත් පොරඇල්ලීමක් ඇතුව දෙවියන්වහන්සේගේ ශුභාරංචිය නුඹලාට කියාදෙන්ට අපගේ දෙවියන්වහන්සේ තුළ නිර්භීතවුණෙමුව. 3මක්නිසාද අපේ අනුශාසනාව මුළාවෙන්වත් අපවිත්‍රකමින්වත් වංචාවෙන් යුක්තවවත් නොවේය. 4නුමුත් ශුභාරංචිය භාරගැනීමට අපි සුදුස්සෝයයි දෙවියන්වහන්සේ අප ඒත්තුගත් ප්‍රකාරයටම, මනුෂ්‍යයන් නොව අපේ සිත් විමසන දෙවියන්වහන්සේව සතුටුකරන ලෙස කථාකරමුව. 5මක්නිසාද නුඹලා දන්නා හැටියට අප විසින් කිසිකලක ඉච්චා වචනවත් තණ්හාවේ උපායක්වත් ව්‍යවහාරකළේ නැත–දෙවියන්වහන්සේ සාක්ෂිය. 6අප ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයන් හැටියට නුඹලාට බරක්වෙන්ට අපට පුළුවන්කම තිබුණු නුමුත්, නුඹලාගෙන්වත් අන්‍යයන්ගෙන්වත් මනුෂ්‍ය ගෞරවය නොසෙවුවෙමුව. 7එසේ නොව, කිරිමවක් ඇගේම දරුවන් පෝෂණයකරන්නාක්මෙන්, නුඹලා අතරෙහි අපි මොළොක් ගුණයෙන් සිටියෙමුව. 8එලෙස අපි නුඹලාට ප්‍රේමාන්විත ඇලුම්කමකින් යුක්තව සිටිය බැවින්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය පමණක් නොව නුඹලා අපට ඉතා ප්‍රියවූ නිසා අපේම ප්‍රාණත් නුඹලාට දෙන්ට සතුටුව සිටියෙමුව. 9මක්නිසාද, සහෝදරයෙනි, අපේ වීර්යයත් වෙහෙසත් නුඹලාට මතක තිබේ. අපි නුඹලාගෙන් කිසිවෙකුට බර නොවන පිණිස රෑ දාවල් වැඩකරමින්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය නුඹලාට දේශනා කෙළෙමුව. 10අදහන්නාවූ නුඹලා අතරෙහි අපි කොපමණ ශුද්ධව ධර්මිෂ්ඨව නිදොස්ව හැසුරුණෙමුද කියා නුඹලාත් දෙවියන්වහන්සෙත් සාක්ෂිකාරයෝය. 11එසේය, තමන්වහන්සේගේ රාජ්‍යයටත් මහිමයටත් නුඹලා කැඳවන දෙවියන්වහන්සේට ඔබිනලෙස නුඹලා හැසිරෙන හැටියට, 12පියෙකු තමාගේ දරුවන්ට මෙන්, අප විසින් නුඹලාට අවවාදකරමින්, ධෛර්යදෙමින්, අණ දෙමින්, නුඹලා එක් එක්කෙනාට ක්‍රියාකළ හැටි නුඹලා දනිහුය.
පීඩා විඳින්ට සිදුවීම
13එසේහෙයින් නුඹලා පණිවිඩයේ වචනය, එනම් දෙවියන්වහන්සේගේ වචනය අපෙන් ලැබූ කල, නුඹලා පිළිගත්තේ මනුෂ්‍යයන්ගේ වචනය නොව ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ වචනයව තිබෙන්නාවූ, අදහන නුඹලා තුළ ක්‍රියාද කරන්නාවූ වචනය බැවින්, අපිත් නොකඩව දෙවියන්වහන්සේට ස්තුතිකරමුව. 14මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ යුදයෙහි තිබෙන දෙවියන්වහන්සේගේ සභාවන් අනුවයන්නෝවී, ඔවුන් යුදෙව්වරුන්ගෙන් වින්ද දේවල්ම නුඹලාත් නුඹලාගේම රටවැසියන්ගෙන් වින්දහුය. 15ඒ යුදෙව්වරු වනාහි ස්වාමිවූ යේසුස්වහන්සේද අනාගතවක්තෘවරුන්ද මැරුවෝය, අපත් පන්නාදැම්මෝය; ඔව්හු දෙවියන්වහන්සේ ප්‍රසන්න නොකරති, සියලු මනුෂ්‍යයන්ටද විරුද්ධව සිටිති; 16අන්‍යජාතීන් ගැළවෙන පිණිස ඔවුන්ට කථාකිරීම අපට තහනම්කරති. මෙසේ ඔව්හු නිතරම තමුන්ගේ පව් සම්පූර්ණ කරති. උදහස තීන්දුවටම ඔවුන් කෙරෙහි පැමිණ තිබේ.
ක්‍රිස්තියානි සහෝදරයන් ගැන ප්‍රේරිත තැනගේ ආශාව
17නුමුත් සහෝදරයෙනි, අපි හිතෙන් නොව පෙනීමෙන් නුඹලා වෙතින් ස්වල්ප කාලයකට අහක්ව සිටිය කල, නුඹලාගේ මුහුණ දකින්ට මහත් ආශාවෙන් බොහෝ උත්සාහකළෙමුව. 18මක්නිසාද අපි, එනම් පාවුල් යන මම, වරක් දෙවරක් නුඹලා වෙතට එන්ට කැමතිව සිටියෙමි; නුමුත් සාතන් අපට බාධාකළේය. 19අපගේ බලාපොරොත්තුවත් ප්‍රීතියත් පාරට්ටුවේ ඔටුන්නත් කිමෙක්ද? අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ඊමේදී උන්වහන්සේ ඉදිරියෙහි නුඹලාම නොවේද? 20එසේය, නුඹලා අපේ ගෞරවයත් අපේ ප්‍රීතියත්ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in