YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 30

30
අමලෙක්වරු ශික්ලග් අල්ලා ගැනීම. දාවිත් ඔවුන් විනාශකිරීම
1තවද දාවිත් හා ඔහුගේ මිනිස්සු තුන්වෙනිදා ශික්ලග්ට පැමුණුණෝය, ඊට ප්‍රථම අමලෙක්වරු දකුණු දිශාවටත් ශික්ලග්ටත් විරුද්ධව ඇවිත්, ශික්ලග්ට පහරදී, ඒක ගින්නෙන් පුලුස්සා දමා, 2එහි සිටි ස්ත්‍රීන්ද ලොකු කුඩා සියල්ලන්ද වාලට ගෙන, කිසිවෙකු නොමරා ඔවුන් අල්ලාගන යන්ට ගියෝය. 3දාවිත්ද ඔහුගේ මිනිස්සුද නුවරට පැමිණි කල, ඒක ගිනිලා තිබෙන බවත් ඔවුන්ගේ භාර්යාවන්ද පුත්‍රයන්ද දූවරුන්ද වාලට අසුවී ගිය බවත් දුටුවෝය. 4එවිට දාවිත්ද ඔහු සමඟ සිටි සෙනඟද ඔවුන්ට තවත් අඬන්ට පුළුවන්කම නැතිවෙන තුරුම ශබ්දනගා ඇඬුවෝය. 5දාවිත්ගේ භාර්යාවන් දෙදෙනා වන යෙස්‍රෙයෙලිය අහිනොවම් සහ කර්මෙලිය නාබල්ගේ භාර්යාව ව සිටි අබීගායිල්ද වාලට අසුවී ගියෝය. 6දාවිත් තද අමාරුවට පත්විය; මක්නිසාද මුළු සෙනඟගේ සිත් තම තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගැන ශෝකවුණ බැවින් ඔහුට ගල්ගසන්ට සෙනඟ කථාකළෝය. නුමුත් දාවිත් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තුළ ශක්තිය උපදවාගත්තේය.
7ඒඵොද් සැට්ටය මා ළඟට ගෙනෙන්නැයි දාවිත් අහිමෙලෙක්ගේ පුත්‍රවූ අබියාතර් පූජකයාට කීවේය. අබියාතර් ඒඵොද් සැට්ටය දාවිත් ළඟට ගෙනාවේය. 8මම මේ සමුදාව ලුහුබැඳෙයම් නම් ඔවුන් කරා පැමිණෙන්ට මට පුළුවන් වේදැයි දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. උන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ලුහුබැඳ යන්න. මක්නිසාද නුඹ සැබවින් ඔවුන් කරා පැමිණ නොවරදවාම සියල්ල නැවත ලබාගන්නවා ඇතැයි කීසේක. 9එවිට දාවිත්ද ඔහු සමඟ සිටි මිනිසුන් හසියයද ගියෝය. ඔවුන් බෙසොර් ඔය ළඟට පැමුණුණුවිට නවත්වායන්ට සිදුවූ අය එහි නැවතුණෝය. 10එහෙත් දාවිත් සහ මිනිසුන් හාරසියයක් එළවාගන ගියෝය. බෙසොර් ඔයෙන් එගොඩට යන්ට බැරිතරම් වෙහෙසව සිටියාවූ මිනිසුන් දෙසියයක් නැවතුණෝය. 11මිසර මනුෂ්‍යයෙක් පිටතදී ඔවුන්ට සම්බවී, ඔහු දාවිත් ළඟට ගෙනවුත් කන්ට රොටිද බොන්ට වතුරද ඔහුට දුන්නෝය. 12තවද ඔව්හු අත්තික්කා කැටියකින්, කැබෙල්ලක්ද මුද්‍රිකඵල පොකුරු දෙකක්ද ඔහුට දුන්නෝය; ඔහු කෑ පසු ප්‍රාණවත්විය. මක්නිසාද ඔහු දවල් තුනකුත් රෑ තුනකුත් කෑම කෑවේවත් වතුර බීවේත් නැත. 13නුඹ කාට අයිතිද? කොතැනින් ආයෙහිදැයි දාවිත් ඔහුගෙන් ඇසුවේය. ඔහුද: මම අමලෙක් මනුෂ්‍යයෙකුගේ වැඩකාරයෙක්ව සිටින මිසරිය යෞවනයෙක්ය; තුන් දවසකට ඉස්සර මට අසනීපවූ බැවින් මාගේ ස්වාමියා මා අත්හැරදමා ගියේය. 14අපි කෙරෙතිවරුන්ගේ දකුණු දිශාවටත් යූදාට අයිති පළාතටත් කාලෙබ්ගේ දකුණු දිශාවටත් විරුද්ධව යුද්ධකෙළෙමුව; ශික්ලග් ගින්නෙන් පුලුස්සා දැමීමුයයි කීවේය. 15ඒ සමුදාව ළඟට යන්ට නුඹ මට මග පෙන්වනවාදැයි දාවිත් ඔහුගෙන් ඇසුවේය. ඔහුද: මා නොමරන හැටියටත් මාගේ ස්වාමියාගේ අතට පාවානොදෙන හැටියටත් දෙවියන්වහන්සේගේ නාමයෙන් ඔබ මට දිව්රුම්දෙතොත් මම ඒ සමුදාව ළඟට පැමිණෙන්ට ඔබට මග පෙන්වමියි කීවේය. 16තවද ඔහු විසින් ඒ ස්ථානයට ඔහු පැමිණෙවු විට ඔවුන් පිලිස්තිවරුන්ගේ දේශයෙනුත් යූදා දේශයෙනුත් ගත්තාවූ මහත්වූ මුළු කොල්ලය නිසා කමින් බොමින් නටමින් බිම මුළුල්ලෙහිම විසිර සිටියෝය. 17දාවිත් ඇඳිරි වේලාවේ පටන් පසුවදා සවස දක්වා ඔවුන්ට පහරදුන්නේය. ඔටුවන් පිටනැගී පලාගියාවූ යෞවනයන් හාරසියයක් හැර ඔවුන්ගෙන් වෙන කිසිවෙක් ගැළවුණේ නැත. 18මෙසේ දාවිත් අමලෙක්වරුන් විසින් ගෙන ගිය සියල්ලත් තමාගේ භාර්යාවන් දෙදෙනාත් ගළවා ගත්තේය. 19ලොකු කුඩා සියල්ලන්ගෙන්ද පුත්‍රයන්ගෙන්ද දූවරුන්ගෙන්ද කිසිවෙක්වත් කොල්ලයවත් ඔවුන් ගත්තාවූ කිසිවක්වත් අඩු නැතුව දාවිත් සියල්ලම නැවත ගෙනාවේය. 20සියලු එළු බැටළුවන්ද ගවයින්ද දාවිත් ගත්තේය, උන් අනික් සිව්පාවුන්ට පෙරටුවෙන් දක්කමින්: මෙය දාවිත්ගේ කොල්ලයයයි කීවෝය. 21දාවිත් අනුව යන්ට බැරි ලෙස වෙහෙසව සිටියාවූ, බෙසොර් ඔය ළඟ සිටින්ට ඇරියාවූ මිනිසුන් දෙසියය ළඟට දාවිත් පැමිණි විට ඔව්හු දාවිත් සහ ඔහු සමඟ සිටි සෙනඟගේ පෙරමගට ආවෝය. දාවිත් සෙනඟ ළඟට ආ කල ඔවුන්ට ආචාරකෙළේය. 22එවිට දාවිත් සමඟ ගිය මිනිසුන් අතරෙන් නපුරුවූ දුර්ජනවූ මිනිසුන් සියල්ලෝ කථාකොට: අප සමඟ නොගිය සියලු මිනිසුන්ට එක එකා තම තමාගේ භාර්යාවද දරුවන්ද අරගන යන පිණිස ඔවුන් දෙනවා මිස අප විසින් ගළවාගත් කොල්ලයෙන් කිසිවක් නොදෙමුයයි කීවෝය. 23එකල දාවිත්: මාගේ සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ අපට දුන් දේවල් ගැන එසේ නොකරන්න, උන්වහන්සේ අප ආරක්ෂාකර අපට විරුද්ධව ආවාවූ සමුදාව අප අතට පාවාදුන්සේක. 24මේ කාරණය ගැන නුඹලාට ඇහුම්කන්දෙන්නේ කවුද? යුද්ධයට යන අයගේ කොටස යම්සේද බඩු ළඟ නවතින අයගේ කොටසත් එසේම වන්නේය. ඔවුන් විසින් එක සමානව බෙදාගත යුතුයයි කීවේය. 25තවද ඔහු මේ කාරණය එදා පටන් අද දක්වා ඉශ්‍රායෙල් කෙරෙහි පනතක් හා නියෝගයක් කොට නියමකෙළේය.
26දාවිත් ශික්ලග්ට පැමුණුණු විට තමාගේ මිත්‍රයන් වන යූදාහි වැඩිමහල්ලන්ට කොල්ලයෙන් කොටස් යවමින්: මෙන්න, ස්වාමීන්වහන්සේගේ සතුරන්ගෙන් ගත් කොල්ලයෙන් නුඹලාට තෑගියයි කියා ඇරියේය; 27එසේ ඇරියේ බෙතෙල්හිද දකුණු රාමොත්හිද යත්තීර්හිද; 28අරෝයෙර්හිද සිප්මෝත්හිද එෂ්තෙමොවාහිද; 29රාකාල්හිද යෙරමෙයෙල්වරුන්ගේ නුවරවලද කේනිවරුන්ගේ නුවරවලද; 30හොර්මාහිද බොර්-ආෂාන්හිද අතාබ්හිද; 31හෙබ්‍රොන්හිද දාවිත් සහ ඔහුගේ මිනිසුන් ගැවසුණ සියලු තැන්වලද සිටි වැඩිමහල්ලන්ටය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in