1 සාමුවෙල් 17:42-51
1 සාමුවෙල් 17:42-51 SROV
පිලිස්තියයා බලා දාවිත් දුටු විට ඔහුට ගර්හාකෙළේය. මක්නිසාද ඔහු රතු පාටවූ, ශෝභමාන පෙනීමක් ඇත්තාවූ තරුණයෙක් පමණක් විය. පිලිස්තියයා දාවිත්ට කථාකොට: තෝ සැරයටි රැගෙන මා ළඟට එන්නේ මම බල්ලෙක්දැයි කියා, තමාගේ දෙවියන්ගේ නාමයෙන් දාවිත්ට දෙස්කීවේය. තවද පිලිස්තියයා: මා ළඟට වර, මම තාගේ මස් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ මෘගයන්ටත් දෙන්නෙමියි දාවිත්ට කීවේය. එවිට දාවිත්: තෝ කඩුවක්ද හෙල්ලයක්ද කුඩා හෙල්ලයක්ද රැගෙන මා ළඟට එන්නෙහිය. මම වනාහි තා නින්දාකළ ඉශ්රායෙල් සමුදාවල දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේගේ නාමයෙන් තා ළඟට එමි. අද දවසේ ස්වාමීන්වහන්සේ තා මා අතට පාවාදෙනසේක; මම තට ගසා, තාගේ හිස කපාදමා, පිලිස්තිවරුන්ගේ සේනාවේ මළකඳන් අද දවසේ ආකාශයේ පක්ෂීන්ටද පොළොවේ වන මෘගයන්ටද දෙන්නෙමි; මෙසේ ඉශ්රායෙල් කෙරෙහි දෙවිකෙනෙක් ඉන්න බව පොළොවේ සියල්ලන්ම දැනගන්නවා ඇත. ස්වාමීන්වහන්සේ කඩුවෙන් හා හෙල්ලයෙන් නොගළවන බව මේ මුළු සමූහයාත් දැනගන්නවා ඇත. මක්නිසාද යුද්ධය ස්වාමීන්වහන්සේගේ ය, උන්වහන්සේද නුඹලා අප අතට පාවාදෙනසේකැයි පිලිස්තියයාට කීවේය. තවද පිලිස්තියයා නැගිට දාවිත්ට විරුද්ධව ළංවෙද්දී දාවිත් ඉක්මන්කොට පිලිස්තියයාට විරුද්ධව සේනාව දෙසට දුවගොස්, මල්ලේ අතදමා එයින් ගලක් අරන්, ඒක ගල්පටියෙන් විද්දේය; ඒ ගල පිලිස්තියයාගේ නළලට වැදී ඔහුගේ නළලේ ගිලී ඔහු මුහුණින් බිම වැටුණේය. මෙසේ දාවිත් ගල්පටියෙන්ද ගෙලන්ද පිලිස්තියයාගෙන් ජයගෙන, ඔහුට පහරදී, ඔහු මැරුවේය; නුමුත් දාවිත්ගේ අතේ කඩුවක් තිබුණේ නැත. එවිට දාවිත් දුව ගොස් පිලිස්තියයා ළඟ සිට, ඔහුගේ කඩුව අල්ලා කොපුවෙන් ඇද ඔහු මරා, එයින් ඔහුගේ හිස කපා දැමුවේය. පිලිස්තිවරු තමුන්ගේ බලවතා මැරුණු බව දැක පලාගියෝය.





