YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 1

1
සාමුවෙල්ගේ උත්පත්තිය සහ කැපකරනු ලැබීම
1එප්‍රායිමියයෙක්වූ ශුප්ගේ පුත්‍රවූ තොහුගේ පුත්‍රයා වන එලීහුගේ පුත්‍රවූ යෙරොහාම්ගේ පුත්‍රයා වන එල්කානා නම් මනුෂ්‍යයෙක් එප්‍රායිම් කඳුරටේ රාමාතයිම්-ශෝපීම්හි සිටියේය. 2ඔහුට භාර්යාවන් දෙදෙනෙක් වූවෝය; එක් තැනැත්තියකගේ නම හන්නාය, අනික් තැනැත්තියගේ නම පෙනින්නාය. පෙනින්නාට දරුවෝ සිටියෝය, නුමුත් හන්නාට දරුවෝ නොසිටියෝය. 3ඒ මනුෂ්‍යයා ෂිලෝහිදී සේනාවල ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්ටත් පූජාකරන්ටත් අවුරුද්දෙන් අවුරුද්ද තමාගේ නුවර සිට නික්ම ගියේය. එහි ස්වාමීන්වහන්සේගේ පූජකයෝවූ හොප්නී සහ පීනෙහාස් යන ඒලීගේ පුත්‍රයෝ දෙදෙනා සිටියෝය. 4එල්කානා පූජාකරන දවස පැමිණි කල තමාගේ භාර්යාවවූ පෙනින්නාටත් ඇගේ සියලු පුත්‍රයන්ටත් දූවරුන්ටත් කොටස් දුන්නේය. 5නුමුත් හන්නාට ඔහු දෙකොටසක් දුන්නේය. මක්නිසාද ඔහු හන්නාට ආදරේව සිටියේය, නුමුත් ස්වාමීන්වහන්සේ විසින් ඇගේ ගර්භය පියවා තිබුණේය. 6ස්වාමීන්වහන්සේ විසින් ඇගේ ගර්භය පියවනලද බැවින් ඇගේ සැතිරී ඈ කෝපකරන පිණිස ඈට බොහෝසෙයින් තරහ ඉපදෙවූවාය. 7ඔහු අවුරුද්දෙන් අවුරුද්ද එසේ කෙළේය. ඈ ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගිය ප්‍රස්තාවලදී ඒ තැනැත්තී එසේ ඈට තරහ ඉපදෙවූවාය; ඒ නිසා ඈ කෑම නොකා අඬමින් සිටියාය. 8එවිට ඇගේ පුරුෂයාවූ එල්කානා ඈට කථාකොට: හන්නා, නුඹ අඬන්නේ මන්ද? නොකා සිටින්නේ මන්ද? නුඹේ සිත ශෝකව තිබෙන්නෙත් මක්නිසාද? මා පුත්‍රයන් දසදෙනෙකුට වඩා නුඹට හොඳ නැද්දැයි කීවේය. 9ෂීලෝහිදී ඔවුන් කා බී පසුව හන්නා නැගිට ගියාය. ඒලී පූජකයා ස්වාමීන්වහන්සේගේ මාලිගාවේ උළුවහුකණුව ළඟ තිබුණ තමාගේ ආසනයේ ඉඳගන උන්නේය. 10ඇගේ ආත්මය ශෝකයෙන් පීඩිතවූයේය, ඈ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින් අඬ අඬා සිටියාය. 11ඈ බාරයක්වෙමින්: සේනාවල ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකාරීගේ දුක සැබවින් බලා මා සිහිකර, ඔබගේ මෙහෙකාරී මතක නැතිනොකර, ඔබගේ මෙහෙකාරීට පිරිමි දරුවෙක් දෙනසේක් නම්, ඔහුගේ ජීවිතයේ සෑමදාටම ඔහු ස්වාමීන්වහන්සේට දෙන්නෙමි, දැළිපිහියක්ද ඔහුගේ හිස පිටට නොපැමිණෙන්නේයයි කීවාය. 12ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි බොහෝ වේලා යාච්ඤාකරන අතර ඒලී ඇගේ මුඛය දෙස බලා සිටියේය. 13මක්නිසාද හන්නා තමාගේ සිත තුළේම කථාකළාය. ඇගේ තොල් පමණක් සෙලවුණේය, ඇගේ කටහඬ ඇසුණේ නැත. ඉන්නිසා ඈ බී මත්වෙලායයි ඒලී සිතුවේය. 14ඒලී ඈට කථාකොට: නුඹ කොපමණ කල් මත්ව සිටිනවාද? නුඹේ මුද්‍රිකපානය නුඹෙන් පහකරන්නැයි කීවේය. 15හන්නා උත්තරදෙමින්: මාගේ ස්වාමිනි, එසේ නොවේ, මම ශෝක සිතක් ඇති ස්ත්‍රියක්ය. මුද්‍රිකපානයවත් සැර බීමවත් නොබීවෙමි, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මාගේ ආත්මය වැගිරෙවුවෙමි. 16ඔබගේ මෙහෙකාරී බෙලියල්ගේ දුවකැයි කල්පනා නොකළ මැනවි. මක්නිසාද මාගේ දුක සහ සන්තාපයේ අධිකතාව නිසා මේ වනතුරු කථාකෙළෙමියි කීවාය. 17එවිට ඒලී උත්තරදෙමින්: සමාදානයෙන් යන්න; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගෙන් නුඹ කළ ඉල්ලීම උන්වහන්සේ නුඹට ඉෂ්ටකරදෙනසේක්වයි කීවේය. 18ඈද: ඔබගේ මෙහෙකාරීට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබේවයි කීවාය. එවිට ඒ ස්ත්‍රී පිටත්ව ගොස් කෑම කෑවාය, ඇගේ මුහුණද තවත් මලානිකව නොතිබුණේය. 19ඔව්හු අලුයම නැගිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නමස්කාරකොට හැරී ගොස් රාමාහි තමුන්ගේ ගෙදරට පැමුණුණෝය. එල්කානා තමාගේ භාර්යාවවූ හන්නා ඇඳින්නේය; ස්වාමීන්වහන්සේද ඈ සිහිකළසේක. 20තවද අවුරුද්දක් යන තැනදී හන්නා ගර්භිණීව පුත්‍රයෙකු බිහිකළාය; ඈ: මා ස්වාමීන්වහන්සේගෙන් ඔහු ඉල්ලාගත් බැවිනැයි කියා ඔහුට සාමුවෙල් යන නම තැබුවාය. 21එල්කානා නම් මනුෂ්‍යයාද ඔහුගේ මුළු පවුලද අවුරුදු පතා කරන පූජාවත් තමාගේ බාරයත් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන පිණිස නික්ම ගියෝය. 22නුමුත් හන්නා ගියේ නැත; මක්නිසාද: ළමයා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පෙනී එහි හැම කල්හිම නැවතී සිටින පිණිස, කිරිවැරුවාම ඔහු ගෙන යන තුරු මම නොයමියි ඈ තමාගේ පුරුෂයාට කීවාය. 23ඇගේ පුරුෂයාවූ එල්කානා: නුඹට යහපත්ව පෙනෙන දේ කරන්න; ඔහු කිරිවරන තුරු නවතින්න; නුමුත් ස්වාමීන්වහන්සේ තමන්ගේ වචනය ඉෂ්ටකරන සේක්වයි ඈට කීවේය. මෙසේ ඒ ස්ත්‍රී නැවතී තමාගේ පුත්‍රයා කිරිවරන තුරු ඔහුට කිරි දුන්නාය. 24ඔහු කිරිවැරූ කල ඈ ගොස් ගොන් තුන්දෙනෙක්ද පිටි ඒඵාවක්ද මුද්‍රිකපාන භාජනයක්ද ඇතුව ඔහු ගෙනගොස් ෂීලෝහි තිබුණු ස්වාමීන්වහන්සේගේ ගෘහයට පැමුණුණාය. ළමයා බාලව සිටියේය. 25ඔව්හු ගොනා මරා ළමයා ඒලී ළඟට ගෙනාවෝය. 26ඈද: අනේ මාගේ ස්වාමිනි, ඔබ ජීවත් වන බව සැබෑවා සේම, මාගේ ස්වාමිනි, මෙහි ඔබ ළඟ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින් සිටි ස්ත්‍රී මමය. 27මේ දරුවා ලබාගන්ට යාච්ඤාකෙළෙමි; ස්වාමීන්වහන්සේද මා උන්වහන්සේගෙන් ඉල්ලූ මාගේ ඉල්ලීම මට දුන්සේක. 28එබැවින් මමත් ඔහු ස්වාමීන්වහන්සේට දුනිමි; ඔහු ජීවත්ව සිටින තෙක් ඔහු ස්වාමීන්වහන්සේට කැපයයි කීවාය. ඔව්හු එහිදී ස්වාමීන්වහන්සේට නමස්කාර කළෝය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in