YouVersion Logo
Search Icon

1 රාජාවලිය 15

15
අබියාම් යූදාහි රජකම්කිරීම
1නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් රජුගේ දහඅටවෙනි අවුරුද්දේදී අබියාම් යූදා කෙරෙහි රජ වී, 2තුන් අවුරුද්දක් යෙරුසලමේ රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම මයකාය, ඈ අබ්සලොම්ගේ දුවෙක්ය. 3ඔහුද තමාගේ පියා තමාට පළමුවෙන් කළ සියලු පාපවල හැසුරුණේය. ඔහුගේ සිතද ඔහුගේ පියවූ දාවිත්ගේ සිත මෙන් ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණව නොතිබුණේය. 4එහෙත් දාවිත් නිසා ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහුට පසුව ඔහුගේ පුත්‍රයා නැගිටවීමෙන්ද යෙරුසලම ස්ථිරකිරීමෙන්ද යෙරුසලමේ ඔහුට පහනක් දුන්සේක. 5මක්නිසාද හිත්තීය උරියාගේ කාරණය ගැන මිස ස්වාමීන්වහන්සේ දාවිත්ට අණකළ කිසි දෙයකින් ඔහු තමාගේ ජීවිතයේ සියලු දවස්වල අහක්ව නොගොස් උන්වහන්සේගේ ඇස් හමුයෙහි හරිව තිබුණු දේවල්ම කෙළේය. 6රෙහොබොවම් සහ යෙරොබොවම් අතරේ ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල යුද්ධ තිබුණේය. 7අබියාම්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? අබියාම් සහ යෙරොබොවම් අතරේ යුද්ධ පැවතුණේය. 8අබියාම්ද තමාගේ පියවරුන් සමඟ සැතපුණේය; ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත්කළෝය. ඔහුගේ පුත්‍රවූ ආසා ඔහු වෙනුවට රජවුණේය.
ආසා යූදා රට කෙරෙහි රජවීම
9ඉශ්‍රායෙල් රජවූ යෙරොබොවම්ගේ විසිවෙනි අවුරුද්දේ ආසා යූදා කෙරෙහි රජවුණේය. 10ඔහු යෙරුසලමෙහි සතළිස් එක් අවුරුද්දක් රජකම්කළේය. ඔහුගේ මවුගේ නම මයකාය, ඈ අබ්සලොම්ගේ දුවෙක්ය. 11ආසා තමාගේ පියවූ දාවිත් කළ ලෙස ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණුදේ කෙළේය. 12ඔහු සොදොමියයන් දේශයෙන් පහකොට තමාගේ පියවරුන් සෑදූ සියලු දේවරූපද අහක්කර දැමුවේය. 13තමාගේ මවුවූ මයකා අෂේරා කණුවක් පිණිස පිළිකුල් රූපයක් සෑදූ බැවින් ඔහු ඈ මව් බිසෝකමින් අහක්කර, ඇගේ රූපය කපාදමා, කිද්‍රොන් ඔය ළඟදී පුලුස්සාදැමුවේය. 14එහෙත් උස්තැන් පහනොකරනලද්දේය. එසේවී නුමුත් ආසාගේ සිත ඔහුගේ සියලු දවස්වලදී ස්වාමීන්වහන්සේ කෙරේ සම්පූර්ණව තිබුණේය. 15ඔහු තමාගේ පියා විසින්ද තමා විසින්ද කැපකළ රන් රිදී සහ බඩුත් ස්වාමීන්වහන්සේගේ ගෘහය ඇතුළට ගෙනායේය. 16ආසා සහ ඉශ්‍රායෙල් රජවූ බාෂා අතරේ ඔවුන්ගේ සියලු දවස්වල යුද්ධ පැවතුණේය. 17ඉශ්‍රායෙල් රජවූ බාෂා යූදාට විරුද්ධව ගොස් යූදාහි රජවූ ආසා වෙතට පිටතට යන්ට හෝ ඇතුළට එන්ට හෝ කිසිවෙකුට ඉඩ නොදෙන පිණිස රාමා ගොඩනැගුවේය. 18එවිට ආසා ස්වාමීන්වහන්සේගේ ගෘහ ගබඩාවල ඉතුරුව තිබුණු රන් රිදී සියල්ලද රජගෙයි තිබුණු වස්තුද ගෙන තමාගේ සේවකයන්ගේ අතට භාරදී, දමස්කයෙහි විසූ සිරියේ රජවූ, හෙශියොන්ගේ පුත්‍රයා වන තබ්රිම්මොන්ගේ පුත්‍රවූ බෙන්-හදද්ට ඒවා යවමින්: 19මා සහ ඔබ අතරේද මාගේ සහ ඔබගේ පියා අතරේද ගිවිසුමක් තිබේ; මෙන්න රන් රිදී තෑග්ගක් ඔබට එවමි; ඉශ්‍රායෙල් රජවූ බාෂා මා වෙතින් අහක්ව යන පිණිස ඔබ ඇවිත් ඔහු සමඟ කර තිබෙන ඔබගේ ගිවිසුම කඩකළ මැනවැයි කියා ඇරියේය. 20එවිට බෙන්-හදද් ආසා රජුට ඇහුම්කන්දී, තමාගේ සේනාපතියන් ඉශ්‍රායෙල් නුවරවලට විරුද්ධව යවා, ඊයොන්ටත් දාන්ටත් ආබෙල්-බෙත්මයකාටත් මුළු නප්තලී දේශය ඇතුළුව මුළු කින්නරෝත්ටත් පහරදුන්නේය. 21බාෂා ඒ අසා රාමා ගොඩනැගීම නවත්වා, තිර්ශාහි වාසය කෙළේය. 22එවිට ආසා රජ කිසිවෙකු අත්නෑර සියලු යූදාවරුන්ට අඬගස්වා, රාමා ගොඩනැගීමට බාෂා විසින් ගත් ගල්ද ලීද ඔවුන් ලවා ගෙන්වාගන, එයින් බෙන්යමින්හි ගෙබාද මිශ්පාද ගොඩනැගුවේය. 23ආසාගේ අනික් සියලු කාරණාද ඔහුගේ සියලු බලවන්තකම්ද ඔහු කළ සියල්ලද ඔහු ගොඩනැගූ නුවරවල්ද යූදාහි රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? නුමුත් ඔහුගේ මහලු වයසේදී ඔහුගේ පාදවල රෝගයක් සෑදී තිබුණේය. 24ආසා තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත්කරනු ලැබීය. ඔහුගේ පුත්‍රවූ යෙහෝෂාපාට් ඔහු වෙනුවට රජ වුණේය.
25යෙරොබොවම්ගේ පුත්‍රවූ නාදාබ් යූදාහි රජවූ ආසාගේ දෙවෙනි අවුරුද්දේ ඉශ්‍රායෙල් කෙරෙහි රජ වී දෑවුරුද්දක් රජකම්කෙළේය. 26ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට, තමාගේ පියාගේ මාර්ගයෙහිද ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ ඔහුගේ පාපයෙහිද හැසුරුණේය. 27තවද ඉස්සාඛර් වංශයේ අහියාගේ පුත්‍රවූ බාෂා නාදාබ්ට විරුද්ධව කුමන්ත්‍රණයකොට, නාදාබ් සහ සියලු ඉශ්‍රායෙල්වරුන් පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතෝන් වටලාගන සිටින අතර එහිදී ඔහුට පහරදුන්නේය. 28යූදාහි රජවූ ආසාගේ තුන්වෙනි අවුරුද්දේදී බාෂාතෙමේ නාදාබ් මරා ඔහු වෙනුවට රජවුණේය. 29තවද රජවූ වහාම ඔහු යෙරොබොවම්ගේ මුළු වංශය නැසුවේය; විනාශනොකර පණපිටින් කිසිවෙකු ඔහු යෙරොබොවම්ට ඉතුරු නොකෙළේය. 30එසේ වුණේ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදහස්කරන ලෙස යෙරොබොවම් විසින් කළාවූද ඉශ්‍රායෙල්වරුන්ට කරන්ට සැලැස්සුවාවූද පව් නිසා ස්වාමීන්වහන්සේ තමන්ගේ දාසයාවූ ෂීලොනිය අහියා ලවා කියෙවු උන්වහන්සේගේ වචනයේ හැටියටය. 31නාදාබ්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? 32ආසා සහ ඉශ්‍රායෙල්හි රජවූ බාෂා අතරේ ඔවුන්ගේ සියලු දවස්වල යුද්ධ පැවතුණේය.
33යූදාහි ආසාගේ තුන්වෙනි අවුරුද්දේදී අහියාගේ පුත්‍රවූ බාෂා තිර්ශාහි සියලු ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී විසිහතර අවුරුද්දක් රජකම්කෙළේය. 34ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට යෙරොබොවම්ගේ මාර්ගයෙහිද ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ ඔහුගේ පාපයේ හැටියටද හැසුරුණේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy