YouVersion Logo
Search Icon

1 රාජාවලිය 13

13
යෙරොබොවම් දඬුවම්කරනු ලැබීම
1යෙරොබොවම් සුවඳ දුම් ඔප්පුකරමින් පූජාසනය ළඟ සිටිද්දී දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට යූදා සිට බෙතෙල්ට ඇවිත්, 2ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට පූජාසනයට විරුද්ධව මොරගසා: එම්බා පූජාසනය, පූජාසනය, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–යොසියා නම්වූ පුත්‍රයෙක් දාවිත්ගේ වංශයට ඉපිද, නුඹ පිට සුවඳ දුම් ඔප්පුකරන උස් තැන්වල පූජකයන් නුඹ පිට පූජාකරන්නේය, මිනී ඇටද නුඹ පිට දවනු ලබන්නේයයි කියනසේකැයි කීවේය. 3ඔහු එම දවසේ ලකුණක් දෙමින්: ස්වාමීන්වහන්සේ කී ලකුණ නම්, පූජාසනය පැළී එය පිට තිබෙන අලු විසර වැටීමයයි කීවේය. 4දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා බෙතෙල්හි පූජාසනයට විරුද්ධව මොරගසා කී වචන යෙරොබොවම් රජු ඇසූ විට ඔහු පූජාසනය වෙතින් තමාගේ අත දිගුකර: ඔහු අල්ලාගනිව්යයි කීවේය. ඔහුට විරුද්ධව ඔහු දිගුකළ තමාගේ අත දෙවනු නමාගන්ට බැරිලෙස වියළුණේය. 5තවද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ස්වාමීන්වහන්සේගේ අණ පරිදි දුන් ලකුණේ හැටියට පූජාසනය පැළී අලු පූජාසනයෙන් විසර වැටුණේය. 6රජතෙමේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට කථාකොට: මාගේ අත සුවවෙන පිණිස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව්කර මා උදෙසා යාච්ඤාකරන්නැයි කීවේය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ස්වාමීන්වහන්සේට කන්නලව් කෙළේය. එවිට රජුගේ අත සුවවී පෙර තිබුණාක් මෙන් විය. 7රජද: මා සමඟ ගෙදරට ඇවිත් විඩා හැරගන්න, නුඹට ප්‍රසාද පඬුරක් දෙමියි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට කීවේය. 8දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා: නුඹේ ගෙයින් දෙකෙන් පංගුවක් මට දෙතත් මම නුඹ සමඟ එහි නොයමි, මේ ස්ථානයේදී මා විසින් කෑම කන්නේවත් වතුර බොන්නේවත් නැත. 9මක්නිසාද ස්වාමීන්වහන්සේගේ වචනයෙන් මට මෙසේ අණකොට–නුඹ කෑම කන්ටවත් වතුර බොන්ටවත් නුඹ ආ මගින් හැරී යන්ටවත් එපාය කියා මට කියන ලද්දේයයි රජුට කීවේය. 10මෙසේ ඔහු බෙතෙල්ට ආ මාර්ගයෙන් නැවත නොගොස් වෙන මාර්ගයකින් ගියේය.
අකීකරු ප්‍රොපේත තැනගේ දුක්ඛිත අන්තිමය
11බෙතෙල්හි මහලු ප්‍රොපේත කෙනෙක් වාසයකෙළේය; ඔහුගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක් ඇවිත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා එදා බෙතෙල්හිදී කළ සියලු ක්‍රියාවල් ඔහුට කීයේය. ඔහු විසින් රජුට කී වචනද ඔව්හු තමුන්ගේ පියාට කීවෝය. 12ඔවුන්ගේ පියා: ඔහු කොයි මගින් ගියේදැයි ඔවුන්ගෙන් ඇසුවේය. යූදාහි සිට ආ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ගිය මාර්ගය ඔහුගේ පුත්‍රයන් විසින් දක්නාලද්දේය. 13මට කොටළුවා සූදානම්කරදෙන්නැයි ඔහු තමාගේ පුත්‍රයන්ට කීය. ඔවුන් ඔහුට කොටළුවා සූදානම් කර දුන් විට ඔහු ඌ පිට නැගී, 14දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා පස්සේ ගොස් ඔහු අලෝන ගහක් යට ඉන්නවා දැක: යූදා සිට ආ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා නුඹදැයි ඔහුගෙන් ඇසීය. ඒ මමයයි ඔහු කීවේය. 15එවිට ඔහු: මා සමඟ ගෙදර ඇවිත් කෑම කන්නැයි ඔහුට කීවේය. 16ඔහුද: නුඹ සමඟ හැරී එන්ටවත් නුඹේ ගෙදරට ඇතුල්වෙන්ටවත් මට නොපිළිවන. මේ ස්ථානයේදී නුඹ සමඟ කෑම නොකමි, වතුරද නොබොමි. 17මක්නිසාද–නුඹ එහිදී කෑම කන්ටවත් වතුර බොන්ටවත් නුඹ යන මාර්ගයෙන් හැරී එන්ටවත් එපාය කියා ස්වාමීන්වහන්සේගේ වචනයෙන් මට කියන ලද්දේයයි කීවේය. 18එවිට ඔහු: මමත් නුඹ වාගේම අනාගතවක්තෘ කෙනෙක්මි; දේවදූතයෙක් ස්වාමීන්වහන්සේගේ වචනයෙන් මට කථාකොට–ඔහු කෑම කන පිණිසත් වතුර බොන පිණිසත් නුඹේ ගෙදරට කැඳවාගන එන්න කියා කීයේයයි ඔහුට කීවේය. ඔහු ඔහුට කීවේ බොරුය. 19මෙසේ ඔහු සමඟ ඔහු හැරී ගොස් ඔහුගේ ගෙදර කෑම කා වතුර බීවේය. 20ඔවුන් මේසේ හිඳින කල ඔහු ආපසු කැඳවාගන ආ ප්‍රොපේත තැන වෙතට ස්වාමීන්වහන්සේගේ වචනය පැමුණුණේය. 21යූදා සිට ආ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට ඔහු මොරගසා: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නුඹ ස්වාමීන්වහන්සේගේ වචනයට අකීකරුව, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ ආඥාව රක්ෂානොකොට, 22හැරී ඇවිත්, යම් ස්ථානයකදී කෑම කන්ටවත් වතුර බොන්ටවත් එපාය කියා නුඹට කීසේක්ද, ඒ ස්ථානයෙහිදී නුඹ කෑම කා වතුර බිවූ නිසා, නුඹේ මළකඳ නුඹේ පියවරුන්ගේ සොහොන්ගෙට නොපැමිණෙන්නේ යයි කීය. 23තවද ඔහු කෑ බී පසු ඔහු විසින් ආපසු කැඳවාගන එනලද ප්‍රොපේත තැනට කොටළුවා සූදානම්කර දෙන ලද්දේය. 24ඔහු ගියායින් පසු මාර්ගයේදී සිංහයෙක් ඔහුට සම්බවී ඔහු මැරුවේය. ඔහුගේ මළකඳ මාර්ගයෙහි දමනලද්දේය, කොටළුවා ඒ ළඟ සිටියේය; සිංහයාත් මළකඳ ළඟ සිටියේය. 25ඒ ළඟින් යන මනුෂ්‍යයෝ මළකඳ මාර්ගයෙහි වැටී තිබෙනවාත් සිංහයා මළකඳ ළඟ සිටිනවාත් දැක මහලු ප්‍රොපේත තැන විසූ නුවරට ඇවිත් ඒ බව කීවෝය. 26මාර්ගයෙන් ඔහු කැඳවාගත් අනාගතවක්තෘ එපවත් අසා: ඒ වනාහි ස්වාමීන්වහන්සේගේ වචනයට අකීකරුවූ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාය. එබැවින් ස්වාමීන්වහන්සේ ඔහුට කී වචනය ලෙස ඔහු සිංහයා ම පාවාදුන්සේක; ඌ ඔහු ඉරා මරාදැමුවේයයි කීවේය. 27තවද ඔහු: කොටළුවා මට සූදානම් කරදෙන්නැයි තමාගේ පුත්‍රයන්ට කීවේය. ඔවුන් ඌ සූදානම් කළ විට ඔහු ගියේය. 28එවිට මළකඳ මාර්ගයෙහි වැටී තිබෙනවාත් කොටළුවාද සිංහයාද මළකඳ ළඟ සිටිනවාත් ඔහුට සම්බවිය. සිංහයා මළකඳ කාලා තිබුණේවත් කොටළුවා ඉරාදමා තිබුණේවත් නැත. 29ඒ මහලු අනාගතවක්තෘද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ගැන වැලපී, ඔහු තැන්පත් කරන පිණිස ඔහුගේ මළකඳ ඔසවා කොටළුවා පිට තබා, තමාගේ නුවරට ගෙනගොස්, 30තමාගේම සොහොන් ගෙයි තැබුවේය; ඔව්හුද: අහෝ මාගේ සහෝදරය! කියා ඔහු ගැන වැලපුණෝය. 31තවද ඔහු විසින් ඔහු තැන්පත්කළ පසු ඔහු තමාගේ පුත්‍රයන්ට කථාකොට: මා මැරුණාම දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා තැන්පත්කරනලද සොහොන්ගෙයි මාත් තැන්පත්කරන්න; ඔහුගේ ඇට ළඟ මාගේ ඇට තබන්න. 32මක්නිසාද ඔහු බෙතෙල්හි පූජාසනයටත් සමාරීය නුවරවල උස් තැන්හි තිබෙන සියලු ගෘහවලටත් විරුද්ධව ස්වාමීන්වහන්සේගේ ආඥාව පරිදි මොරගසා කී වචනය ඉෂ්ටවෙනවාම ඇතැයි කීවේය.
33මේ දෙයට පසුවවත් යෙරොබොවම් තමාගේ නපුරු මාර්ගයෙන් නොහැරී, නැවතත් සියලු මිනිසුන්ගෙන් උස් තැන්වලට පූජකයන් පත්කෙළේය. කැමතිවූ කොයි අය නුමුත් උස්තැන්වල පූජකයන් වීමට ඔහු කැපකෙළේය. 34මේ කාරණය වනාහි යෙරොබොවම්ගේ වංශය සිඳ දමා පොළෝතලයෙන් විනාශකිරීමට ඔවුන් කෙරෙහි පාපයක් විය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy