YouVersion Logo
Search Icon

1 යොහන් 4

4
බොරුවූ සහ සැබෑවූ ප්‍රොපේතවරුන් අතරේ වෙනස
1ප්‍රේමවන්තයෙනි, බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන්වහන්සේගෙන්දැයි පරීක්ෂාකරන්න. 2මෙයින් නුඹලා දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ දැනගන්නහුය. එනම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් යුක්තව ආ බව ඒත්තුගන්නාවූ සෑම ආත්මයෝ දෙවියන්වහන්සේගෙන්ය. 3යේසුස්වහන්සේ ඒත්තු නොගන්නාවූ සියලු ආත්මයෝ දෙවියන්වහන්සේගෙන් නොවෙති. එන්නේයයි නුඹලා ඇසුවාවූ, දැනටම ලෝකයෙහි සිටින්නාවූ විරුද්ධ-ක්‍රිස්තුස්ගේ ආත්මය මේය. 4මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා දෙවියන්වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනන්වහන්සේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති. 5එබැවින් ලෝකයෙන් වූවාක්මෙන් කථාකරති, ලෝකයාද ඔවුන්ගේ වචන අසති. 6අපි දෙවියන්වහන්සේගෙන් වෙමුව. දෙවියන්වහන්සේව අඳුනන තැනැත්තේ අපේ වචන අසන්නේය; දෙවියන්වහන්සේගෙන් නොවන තැනැත්තේ අපේ වචන අසන්නේ නැත. මෙයින් සැබෑකමේ ආත්මයත් මුළාවේ ආත්මයත් අපි දැනගනිමුව.
දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ ප්‍රේමයට උල්පත බව
7ප්‍රේමවන්තයෙනි, අපි එකිනෙකාට ප්‍රේමකරමු. මක්නිසාද ප්‍රේමය දෙවියන්වහන්සේගෙන්ය; ප්‍රේමකරන සෑමදෙනම දෙවියන්වහන්සේගෙන් ඉපද සිටිති, දෙවියන්වහන්සේව අඳුනති. 8ප්‍රේම නොකරන්නා දෙවියන්වහන්සේව නාඳුනයි; මක්නිසාද දෙවියන්වහන්සේ ප්‍රේමයය. 9අප කෙරෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් කරණකොටගෙන අප ජීවත්වන පිණිස උන්වහන්සේ ලෝකයට එවූ කාරණයෙන්ය. 10ප්‍රේමය මේය, එනම් අප දෙවියන්වහන්සේට ප්‍රේමකළා නොව උන්වහන්සේ අපට ප්‍රේමකොට, අපේ පව් උදෙසා ශාන්තිකර පූජාව වන පිණිස තමන්ගේ පුත්‍රයා එවූ බවය. 11ප්‍රේමවන්තයෙනි, දෙවියන්වහන්සේ අපට මෙසේ ප්‍රේමකළසේක් නම්, අප විසිනුත් එකිනෙකාට ප්‍රේමකළ යුතුය. 12කිසිවෙක් කිසි කලක දෙවියන්වහන්සේව දුටුවේ නැත. අපි එකිනෙකාට ප්‍රේමකරමු නම්, දෙවියන්වහන්සේ අප තුළ සිටිනසේක, උන්වහන්සේගේ ප්‍රේමයද අප තුළ සම්පූර්ණවී තිබේ. 13අප උන්වහන්සේ තුළද උන්වහන්සේ අප තුළද සිටින බව අප විසින් දැනගන්නේ උන්වහන්සේ තමන්ගේ ආත්මයාණන් අපට දී තිබෙන නිසාය. 14පියාණන්වහන්සේ විසින් පුතායාණන් ලෝකයාගේ ගැළවුම්කාරයා කොට එවූ බව අපි දුටිමුව, ඊට සාක්ෂිදෙමුව. 15යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බව යමෙක් ඒත්තුගන්නේද, දෙවියන්වහන්සේ ඔහු තුළත් ඔහු දෙවියන්වහන්සේ තුළත් ඇත්තේය. 16දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය අපි දැන විශ්වාසකරගන සිටිමුව. දෙවියන්වහන්සේ ප්‍රේමයය; ප්‍රේමයෙහි පවතින්නා දෙවියන්වහන්සේ තුළ සිටි, දෙවියන්වහන්සේද ඔහු තුළ සිටිනසේක. 17අප තුළ ප්‍රේමය සම්පූර්ණව තිබීම නම්, ඒ තැනන්වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකයෙහි සිටින බැවින්, විනිශ්චය දවස ගැන නිසැකකම ඇතුව සිටීමය. 18ප්‍රේමයෙහි භය ඇත්තේ නැත. සම්පූර්ණ ප්‍රේමය භය දුරුකරයි, මක්නිසාද භය දඬුවමින් යුක්තය; භයවන තැනැත්තේ ප්‍රේමයෙහි සම්පූර්ණ නොවී සිටියි. 19අප ප්‍රේමකරන්නේ උන්වහන්සේ පළමුකොට අපට ප්‍රේමකළ නිසාය. 20යමෙක්: දෙවියන්වහන්සේට ප්‍රේමකරමියි කියා තමාගේ සහෝදරයාට වෛරකෙරේ නම්, ඔහු බොරුකාරයෙක්ය. මක්නිසාද තමා දුටු සහෝදරයාට ප්‍රේම නොකරනවා නම්, තමා නුදුටු දෙවියන්වහන්සේට ප්‍රේමකරන්ට ඔහුට නුපුළුවන. 21දෙවියන්වහන්සේට ප්‍රේම කරන තැනැත්තේ තමාගේ සහෝදරයාටත් ප්‍රේමකරාවා යන මේ ආඥාව අපි උන්වහන්සේගෙන් ලැබීමුව.

Currently Selected:

1 යොහන් 4: SROV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy