YouVersion Logo
Search Icon

1 වංශාවලිය 22

22
1එවිට දාවිත් කථාකොට: දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහය මේය, ඉශ්‍රායෙල්ගේ දවන පූජා ඔප්පුකරන පූජාසනයද මේයයි කීවේය.
දේවමාලිගාව සෑදීමට දාවිත්ගේ සූදානම
2තවද දාවිත් ඉශ්‍රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් රැස්කරන්ට අණකොට, දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනගන පිණිස හතරැස් ගල් කපන්ට ගල්වඩුවන් පත්කෙළේය. 3දොරටුවල දොර ඇණ පිණිසත් සන්ධි පිණිසත් දාවිත් යකඩ බොහෝමයක් සූදානම්කෙළේය; ගණන් නැති බොහෝ පිත්තලත් ගණන් නැති කිහිරි ලීත් සූදානම්කෙළේය. 4මක්නිසාද ශීදොන්වරුද තීර්වරුද කිහිරි ලී බොහෝසෙයින්ම දාවිත් ළඟට ගෙනාවෝය. 5දාවිත් කථාකොට: මාගේ පුත්‍රවූ සාලමොන් ළාබාලය, ස්වාමීන්වහන්සේට ගොඩනගන්ට තිබෙන ගෘහයේ කීර්තියද තේජසද සියලු රටවලට පතළවී යන හැටියට එය අතිශයින් අලංකාරව තිබෙන්ට ඕනෑය. එබැවින් මම ඒ පිණිස සූදානම්කරන්නෙමියි කීවේය. මෙසේ දාවිත් තමාග් මරණයට පළමුවෙන් බොහෝ දේ සූදානම් කෙළේය.
6එවිට ඔහු තමාගේ පුත්‍රවූ සාලමොන් කැඳවා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට ඔහුට අණකෙළේය. 7දාවිත් තමාගේ පුත්‍රවූ සාලමොන්ට කථාකොට: මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට මාගේ සිතේ තිබුණේය. 8එහෙත් ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ: නුඹ බොහෝසේ ලේ වැගිරීමත් මහත් යුද්ධත් කෙළහිය. එසේ නුඹ මා ඉදිරියෙහි බොහෝ ලේ බිම වැගිරෙවු නිසා මාගේ නාමයට ගෘහයක් ගොඩනොනගන්නෙහිය. 9නුමුත් නුඹට උපදින පුත්‍රයෙක් ශාන්තදාන්ත මනුෂ්‍යයෙක් වන්නේය; හාත්පසින්ම ඔහුගේ සියලු සතුරන්ගෙන් ඔහුට නිදහස දෙන්නෙමි. එසේය, ඔහුගේ නාමය සාලමොන් වන්නේය, ඔහුගේ දවස්වලදී ඉශ්‍රායෙල්ට සමාදානයද නිශ්චලතාවද දෙන්නෙමි. 10ඔහුම මාගේ නාමයට ගෘහයක් ගොඩනගනවා ඇත; ඔහු මට පුත්‍රයෙක් වන්නේය, මම ඔහුට පියෙක් වන්නෙමි; ඔහුගේ රාජ්‍යයේ සිංහාසනය ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි සදාකාලයටම ස්ථිරකරන්නෙමියි කීසේක. 11ඉතින් මාගේ පුත්‍රය, නුඹ සඵලවී, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ ගැන කීලෙස උන්වහන්සේගේ ගෘහය ගොඩනගන පිණිස උන්වහන්සේ නුඹ සමඟ වනසේක්වා. 12එසේය, නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව රක්ෂාකරන පිණිස නුඹට නුවණත් බුද්ධියත් දී, ඉශ්‍රායෙල් ගැන භාරයක් නුඹට දෙනසේක්වා. 13ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා ඉශ්‍රායෙල්ට අණකෙරෙවු පනත් හා විනිශ්චයයන් පවත්වන්ට බලාගත්තොත් නුඹ සඵල වන්නෙහිය. ශක්තිමත්ව සවිව සිටින්න; භයනොවන්න, තැතිනොගන්න. 14මෙන්න, මාගේ විපතේදී ස්වාමීන්වහන්සේගේ ගෘහයට රන් තලෙන්ත ලක්ෂයකුත් රිදී තලෙන්ත දශ ලක්ෂයකුත් ගණන් නැති තරම් පිත්තලත් යකඩත් සූදානම්කෙළෙමි; ඒවා අතිශයින් බොහෝය. ඒ ඇර ලීද ගල්ද සූදානම්කෙළෙමි; ඒවාට තව එකතුකරන්ට නුඹට පුළුවන. 15තවද කර්මාන්තකාරයෝ වන ගල්වඩුවෝද ගල් හා ලී වැඩ කරන්නෝද සියලු ආකාර වැඩවලට සියලු ආකාර ප්‍රඥාවන්තයෝද බොහෝ දෙනෙක්ම නුඹට සිටිති; 16ගණන් නැතිතරම් රන්ද රිදීද පිත්තලද යකඩද තිබේ; නැගිට වැඩ පටන්ගන්න, ස්වාමීන්වහන්සේ නුඹ සමඟ වනසේක්වයි කීය. 17තවද දාවිත් තමාගේ පුත්‍රවූ සාලමොන්ට උපකාරකරන පිණිස ඉශ්‍රායෙල්හි සියලු අධිපතීන්ට අණකරමින්: 18නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ සිටිනවා නොවේද? හැම අතින්ම උන්වහන්සේ නුඹලාට නිශ්චලකම දී තිබෙනවා නොවේද? මක්නිසාද උන්වහන්සේ දේශයේ වැසියන් මා අතට පාවාදී තිබේ; දේශය ස්වාමීන්වහන්සේට ද උන්වහන්සේගේ සෙනඟටද යටත්කරනලද්දේය. 19ඉතින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයන්ට නුඹලාගේ සිතත් ආත්මයත් යොමුකරන්න; ස්වාමීන්වහන්සේගේ නාමයට ගොඩනගන්ට තිබෙන ගෘහය තුළට ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද දෙවියන්වහන්සේගේ ශුද්ධ භාණ්ඩද ගෙනයන පිණිස නැගිට දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානය ගොඩනගන්නැයි කීවේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy