යෝබ්ගේ යහළුවන් තුන්දෙනා වන තේමානිය එලීපස්ද ෂූහිය බිල්දද්ද නයමාතිය ශෝපර්ද ඔහුට පැමිණි මේ මුළු විපත්තිය ගැන අසා තම තමුන්ගේ ස්ථානවල සිට ආවෝය. ඔහු හා සමඟ ශෝකවී ඔහු සනසන පිණිස එන්ට ඔව්හු තමුන් අතරේ නියමකරගත්තෝය. ඔව්හු දුරදීම තමුන්ගේ ඇස් ඔසවා බලා, ඔහු නෑඳින, ශබ්ද නඟා අඬා, තම තමුන්ගේ සළු ඉරාගෙන, අහස දෙසට තමුන්ගේ හිස් පිට පස් ඉහගත්තෝය. මෙසේ ඔව්හු රෑ සතකුත් දවල් සතකුත් ඔහු සමඟ බිම හිඳගන උන්නෝය, කිසිවෙක්ද ඔහුට වචනයක්වත් කීවේ නැත. මක්නිසාද ඔහුගේ ශෝකය ඉතා මහත් බව ඔව්හු දුටුවෝය.