ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මමත් උස්වූ කිහිරි ගසේ මුදුනෙන් කෑල්ලක් ගෙන හිටවන්නෙමි; එහි මුදුන් රිකිලිවලින් ළපටි එකක් කඩාගෙන උසස්ව තිබෙන උස්වූ කන්දක් උඩ හිටවන්නෙමි. මම එය උස්වූ ඉශ්රායෙල් කන්ද උඩ හිටවන්නෙමි. එයද අතු ලියලා, ඵල හටගෙන, උතුම් කිහිරි ගසක් වන්නේය. සියලු ආකාර පියාපත් ඇති පක්ෂීහු ඒ යට ලගින්නෝය; එහි අතුවල සෙවණේ උන් ලගින්නෝය.