ශු. මතෙව් 14
14
යොහන් බව්තීස්තගේ මරණය
1එසමයෙහිදී දේශාධිපතිවූ හෙරොද් යේසුස්වහන්සේගේ කීර්තිය ගැන අසා: 2මොහු යොහන් බව්තීස්තය; ඔහු මළවුන්ගෙන් නැගිට සිටියි. ඒ නිසා ඔහු තුළ මේ බලපරාක්‍රම ක්‍රියාකරන්නේයයි තමාගේ මෙහෙකරුවන්ට කීවේය. 3මක්නිසාද හෙරොද් තමාගේ සහෝදරයා වන පිලිප්ගේ භාර්යාවවූ හෙරෝදියස් නිසා යොහන් අල්වා බැඳ හිරගෙයි දමා තිබුණේය. 4මෙසේ කළේ: ඈ තබාගැන්ම ඔබට යුතු නැතැයි යොහන් ඔහුට කී නිසාය. 5ඔහු යොහන් මරන්ට කැමතිව සිටි නුමුත්, යොහන් අනාගතවක්තෘ කෙනෙකු කොට සෙනඟ සැලකූ නිසා ඔවුන්ට භයව සිටියේය. 6නුමුත් හෙරොද්ගේ උපන් දවස පැමිණි කල හෙරෝදියස්ගේ දුව පිරිස මැද නටා හෙරොද් ප්‍රසන්නකළාය. 7එහෙයින් ඈ ඉල්ලන මොන දෙයක් නුමුත් ඈට දෙන්ට දිවුරුමකින් ඔහු පොරොන්දුවූයේය. 8ඈද තමාගේ මවු විසින් පොළඹවනු ලැබ: යොහන් බව්තීස්තගේ හිස තැටියක ලා මෙහිදී මට දුන මැනවැයි කීවාය. 9එවිට රජ ශෝකවූයේය; එහෙත් තමාගේ දිවුරුම් නිසාත්, තමා සමඟ කමින් උන්නවුන් නිසාත්, ඔහු ඒක දෙන්ට ආඥාකොට, 10කෙනෙකු යවා හිරගෙයිදී යොහන්ගේ හිස කැප්පෙවුවේය. 11ඔහුගේ හිස තැටියක ලා ගෙනවුත් තරුණියට දෙනලද්දේය. ඈද ඒක ඇගේ මවු ළඟට ගෙනගියාය. 12ඔහුගේ ගෝලයෝ ඇවිත් මිනිය රැගෙන, ඔහු තැන්පත් කොට, පසුව ගොස් යේසුස්වහන්සේට දැන්වූහ.
පන්දහසකට කන්ට දීම
13යේසුස්වහන්සේ ඒ අසා එයින් පිටත්ව, ඔරුවකින් කාන්තාර ස්ථානයකට වෙන්ව ගියසේක. සමූහයෝ ඒ අසා නුවරවලින් පිටත්ව ඇවිත් උන්වහන්සේ පස්සේ පයින් ගියෝය. 14උන්වහන්සේ නික්මවිත්, මහත් සමූහයක් දැක, ඔවුන් කෙරෙහි අනුකම්පාවී, ඔවුන්ගේ රෝගීන් සුවකළසේක. 15සවස්වූ කල ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: මේක කාන්තාර ස්ථානයක්ය, දැන් වේලාවද ඉක්මගොස් තිබේ; සමූහයා ගම්වලට ගොස් තමුන්ට කෑම මිලදී ගන්නා පිණිස ඔවුන් යන්ට හැරිය මැනවයි කීවෝය. 16ඔවුන් යන්ට කමක් නැත; නුඹලා ඔවුන්ට කන්ට දෙන්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක. 17ඔව්හුද: අපට මෙහි තිබෙන්නේ රොටි පහකුත් මසුන් දෙදෙනෙකුත් පමණක්යයි උන්වහන්සේට කීවෝය. 18ඒවා මෙහි මා වෙතට ගෙනෙන්නැයි උන්වහන්සේ කීසේක. 19උන්වහන්සේ සමූහයාට තණකොළ පිට හිඳගන්ට අණකොට, රොටි පහත් මසුන් දෙදෙනක් රැගෙන, ස්වර්ගය දෙස බලා ආශීර්වාදකොට, රොටි කඩා ගෝලයන්ට දුන්සේක, ගෝලයෝද සමූහයන්ට දුන්නෝය. 20සියල්ලෝම කා තෘප්තියට පැමිණියෝය. ඔව්හු කැඩූ කැබෙලිවලින් ඉතිරි ඒවා එක්කොට පැස් දොළොසක් පුරවාගත්තෝය. 21ස්ත්‍රීන්ද දරුවන්ද හැර කෑවාවූ පුරුෂයෝ පන්දහසක් පමණ වූහ.
මුහුද පිට පයින් යෑම
22එකෙණෙහිම උන්වහන්සේ සමූහයන් අරින තෙක්, ඔරුවට නැගී තමන්ට පළමුවෙන් එගොඩට යන්ට ගෝලයන්ට බලකළසේක. 23උන්වහන්සේ සමූහයන් යැවූ පසු, යාච්ඤාකරන පිණිස වෙන්ව කන්දට ගියසේක. සවස් වූ කල්හි උන්වහන්සේ එහි තනියම සිටිසේක. 24එහෙත් හුළඟ ඉදිරියට ගැසූ බැවින්, ඔරුව එවේලෙහි රැළවලින් සෙලවි සෙලවී මුහුද මැද තිබුණේය. 25රෑ සතරවෙනි යාමයේදී උන්වහන්සේ ඔවුන් වෙතට මුහුද පිට පයින් ආසේක. 26ගෝලයෝ උන්වහන්සේ මුහුද පිට පයින් එනවා දැක, කැලඹී: ඒ අවතාරයක්යයි කියා භයින් මොරගැසුවෝය. 27එහෙත් යේසුස්වහන්සේ එකෙණෙහිම ඔවුන්ට කථාකොට: ධෛර්යවත් වෙන්න; මමය; භය නොවෙන්නැයි කීසේක. 28පේතෘස් උන්වහන්සේට උත්තරදෙමින්: ස්වාමිනි, ඒ ඔබවහන්සේ නම්, වතුර පිට ඔබ වෙතට එන්ට මට අණකළ මැනවයි කීවේය. 29එන්නැයි උන්වහන්සේ කීසේක. එවිට පේතෘස් ඔරුවෙන් බැස, යේසුස්වහන්සේ වෙතට යන පිණිස වතුරු පිට පයින් ගියේය. 30නුමුත් ඔහු හුළඟ දැක භයවී, ගිලෙන්ට පටන්ගෙන: ස්වාමිනි, මා ගැළෙවුව මැනවයි මොරගැසුවේය. 31එකෙණෙහිම යේසුස්වහන්සේ අත දිගුකොට ඔහු අල්ලාගෙන: ඇදහිලි මඳ තැනැත්ත, කුමක් නිසා සැකවූයෙහිදැයි කීසේක. 32ඔවුන් ඔරුවට නැගුණු කල හුළඟ නැවතුණේය. 33එවිට ඔරුවේ සිටි අය: ඒකාන්තයෙන්ම ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය කියා උන්වහන්සේට නමස්කාරකළෝය.
34ඔව්හු එගොඩවී, ගෙන්නෙසරෙත් නම් රටට පැමිණියෝය. 35ඒ රටේ මනුෂ්‍යයෝ උන්වහන්සේ ඇඳින, එහි වටකර මුළු රටට කියා ඇර, සියලු රෝගීන් උන්වහන්සේ වෙතට ගෙන්වා, 36උන්වහන්සේගේ සළුවේ දාවල්ලටවත් අතගසන්ට ඔවුන්ට ඉඩ දෙන හැටියට උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. අතගැසූ සියල්ලෝම සුවපත්වූවෝය.
Iliyochaguliwa sasa
ශු. මතෙව් 14: SROV
Kuonyesha
Nakili
Linganisha
Shirikisha
Je, ungependa vivutio vyako vihifadhiwe kwenye vifaa vyako vyote? Jisajili au ingia
Ceylon Bible Society