උත්පත්ති 14

14
ආබ්‍රම්, ලොත් මුදා ගැනීම
1එසමයෙහි ෂිනාර්හි රජු වූ අම්රාෆෙල් ද එල්ලාසාර්හි රජු වූ අරියොක් ද ඒලාම්හි රජු වූ කෙදොර්-ලායොමෙර් ද ගෝයිම්හි රජු වූ තිදාල් ද යන රජවරු, 2සොදොම්හි රජු වූ බෙරාට ද ගොමොරාහි රජු වූ බිර්ෂාට ද අද්මාහි රජු වූ ෂිනාබ්ට ද සෙබොයිම්හි රජු වූ ෂෙමේබෙර්ට ද බෙලාහි හෙවත් සොවර්හි රජුට ද එරෙහිව යුද්ධයට ගියහ. 3පසුව කී රජවරු, ලුණු මුහුද#14:3 ලුණු මුහුද එනම් මළ මුහුද නමින් හැඳින්වෙන සිද්දීම් මිටියාවතේ හමුදාව ඒකාබද්ධ කළහ. 4ඔවුහු දොළොස් වසරක් කෙදොර්-ලායොමෙර්ට යටත් ව සිටියාහු, දහතුන් වන වසරේදී කැරලි ගැසූහ.
5දහහතර වන වසරේ කෙදොර්-ලායොමෙර් හා ඔහුගේ මිත්‍ර රජවරු පිටත් ව, අෂ්තෙරොත්-කර්ණායිම්හි රෙෆායිවරුන් ද හාම්හි සූසිවරුන් ද ෂාවේ කිරියාතායිම්හි ඒමිවරුන් ද 6කාන්තාරය අද්දර ඒල්-පාරාන් දක්වා වූ සේයිර් කඳු රටේ හෝරීවරුන් ද පරාජය කළහ. 7ඉන්පසු ඔවුහු ආපසු හැරී, ඒන්-මිෂ්පාට් හෙවත් කාදෙෂ් වෙත අවුත්, අමලෙක්වරුන්ගේ මුළු පළාත ද හසසොන්-තාමාර්හි විසූ අමෝරිවරුන් ද පරදා, ජය ගත්හ.
8ඉන්පසු සොදොම්හි රජු, ගොමොරාහි රජු, අද්මාහි රජු, සෙබොයිම්හි රජු, සොවර් හෙවත් බෙලාහි රජු පිටත් ව ගොස්, සිද්දීම් මිටියාවතේ තම සේනාංක පෙළ ගැසුවේ, 9ඒලාම්හි රජු වූ කෙදොර්-ලායොමෙර්ට ද ගෝයිම්හි රජු වූ තිදාල්ට ද ෂිනාර්හි රජු වූ අම්රාෆෙල්ට ද එල්ලාසාර්හි රජු වූ අරියොක්ට ද එරෙහිව ය; ඒ රජුන් පස් දෙනකුට එරෙහි රජුන් සිවු දෙනකු වශයෙනි. 10තවද සිද්දීම් මිටියාවත, කීල් පතල්වලින් ගහන ව තිබිණි. සොදොම් හා ගොමොරා රජුන් පැරදී, පලා යද්දී, ඇතැම් දෙනෙක් ඒවායේ වැටුණහ. සෙස්සෝ කඳුකරයට පලා ගියහ. 11සොදොම් හා ගොමොරාහි සියලු බඩු භාණ්ඩ ද ඔවුන්ගේ සියලු ආහාර ද අල්ලා ගත් රජවරු සිවු දෙන ඉන් අනතුරුව පිටත් ව ගියහ. 12ආබ්‍රම්ගේ සහෝදරයාගේ පුතා වූ ලොත් සොදොම්හි විසූ හෙයින් ඔවුහු, ඔහු ද ඔහු සතු ව තිබූ දෑ ද ගෙන ගියහ.
13බේරී පලා ආ කෙනෙක්, එම පුවත හෙබ්‍රෙව්වා වූ ආබ්‍රම්ට සැල කළේ ය. මෙකල ආබ්‍රම් පදිංචි ව සිටියේ, අමෝරි ජාතික මම්රේගේ ආලෝන් වෘක්ෂ අසල ය. මම්රේ, එෂ්කොල් හා ආනේර්ගේ සොහොයුරා ය. ඔවුන් ආබ්‍රම් සමඟ ගිවිසුමෙන් බැඳුනවුන් ය. 14තම නෑයා සිරකොට, අල්ලාගෙන යන ලද වග ඇසූ ආබ්‍රම්, තම නිවසේ උපන්, යුද පුහුණුව ලද මිනිසුන් තුන්සිය දහඅට දෙනා රැස් කර ගෙන, දාන් දක්වා සතුරන් ලුහුබැන්දේ ය. 15සතුරනට පහර දෙන පිණිස රාත්‍රියේදී තම පිරිස කාණ්ඩවලට බෙදූ ආබ්‍රම්, සතුරන් පලවා හැරියේ දමස්කයට උතුරින් හෝබා දක්වා ඔවුන් ලුහුබඳිමිනි. 16ගෙන ගොස් තිබූ බඩු භාණ්ඩ සියල්ල ආපසු ගත් ආබ්‍රම්, තම නෑයා වූ ලොත් ද ඔහු සතු දෑ ද ස්ත්‍රීන් හා සෙසු ජනයා ද ආපසු ගෙන ආවේ ය.
17ආබ්‍රම්, කෙදොර්-ලායොමෙර් ද ඔහුගේ පක්ෂය ගත් රජුන් ද පරදා, ආපසු පැමිණි කල, සොදොම් රජු ෂාවේ මිටියාවත හෙවත් රජුගේ මිටියාවතේදී ඔහු හමුවට පිටත් ව ආවේ ය.
18එකල සාලෙම්හි රජු වූ මෙල්කිසදෙක්, රොටි හා මිදි යුෂ ගෙනාවේ ය. ඔහු මහෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයා විය. 19ඔහු ආබ්‍රම්ට ආශිර්වාද කරමින්,
“අහසෙත්, පොළොවෙත් මැවුම්කරුවාණන් වූ
මහෝත්තම දෙවියන්වහන්සේගෙන් ආබ්‍රම්ට ආශිර්වාද ලැබේවා!
20ඔබගේ සතුරන් ඔබගේ අතට දුන්
මහෝත්තම දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා!” යි පැවසී ය.
එවිට ආබ්‍රම්, හැම දෙයින් ම දසයෙන් කොටසක් ඔහුට දුන්නේ ය.
21සොදොම් රජු ආබ්‍රම් අමතමින්, “ජනයා මට දෙන්න. බඩු භාණ්ඩ ඔබ ම ගන්නැ” යි කීවේ ය.
22එහෙත් ආබ්‍රම්, සොදොම් රජුට පිළිතුරු දෙමින්, “අහසෙත්, පොළොවෙත් මැවුම්කරුවාණන් වූ මහෝත්තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මගේ අත ඔසවා, මා දිවුරා ඇත්තේ, 23ඔබ සතු කිසිවක් නො ගන්නා බවටයි. ‘ආබ්‍රම් පොහොසත් කළේ මම යැ’ යි ඔබට කිව නො හැකි වන පරිදි, ඔබෙන් පාවහන් පටියක්, එක නූල් පොටක් තරම් දෙයක් මා ගන්නේ නැත. 24මගේ මිනිසුන් කෑ-බී දෑ ද මා කැටිව ගිය මිනිසුන්ට හිමි කොටස ද හැර, මට ය කියා කිසිවක් මා ගන්නේ නැත. ආනේර්, එෂ්කොල් හා මම්රේ ඔවුන්ට හිමි කොටස් ගනිත්වා!” යි කීවේ ය.

Одоогоор Сонгогдсон:

උත්පත්ති 14: SCV

Тодруулга

Хуваалцах

Хувилах

None

Тодруулсан зүйлсээ бүх төхөөрөмждөө хадгалмаар байна уу? Бүртгүүлэх эсвэл нэвтэрнэ үү

උත්පත්ති 14-д зориулсан видео