උත්පත්ති 7
7
මහා ජලගැල්ම
1සමිඳාණන් වහන්සේ නෝවාට කතා කොට, “නුඹ ද, නුඹේ මුළු පවුල ද නැවට ඇතුළු වෙන්න; මන්ද, මිනිසුන් අතර නුඹ පමණක් මා ඉදිරියෙහි දැහැමි බව මම දුටුවෙමි. 2තවද, නන් වැදෑරුම් සත්ත්ව වර්ග පොළෝ තලයෙහි නොකඩව බෝ වන පිණිස සියලු පවිත්‍ර සතුන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් ජෝඩු හත බැගින් ද සියලු අපවිත්‍ර සතුන්ගෙන් ගැහැණු-පිරිමි වශයෙන් ජෝඩුවක් බැගින් ද 3ආකාශ පක්ෂීන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් ජෝඩු හත බැගින් ද රැගෙන යන්න. 4තව හත් දවසකින් පොළොව මත දවල් සතළිසක් හා රාත්‍රි සතළිසක් වැසි වස්වන්නෙමි. මෙලෙස මා මැවූ ජීවමාන සියල්ලක් ම පොළෝ තලයෙන් ඉවත් කරදමන්නෙමි”යි වදාළ සේක. 5නෝවා ද සමිඳාණන් වහන්සේ අණ කළ සියල්ල ඉටු කෙළේ ය.
6පොළොව මත ජලගැල්ම පැතිරෙන විට නෝවාට වයස අවුරුදු හයසියයක් විය. 7#මතෙ 24:38-39; ලූක් 17:27 ජලගැල්මෙන් බේරීමට නෝවා, සිය පුතුන් ද භාර්යාව ද පුතුන්ගේ භාර්යාවන් ද කැටුව නැවට ඇතුළු විය. 8පවිත්‍ර සතුන්ගෙන් ද අපවිත්‍ර සතුන්ගෙන් ද පක්ෂීන්ගෙන් ද උරගයන්ගෙන් ද 9ගැහැණු-පිරිමි සත්තු ජෝඩුව බැගින් දෙවියන් වහන්සේ නෝවාට අණ කළ ලෙස නෝවා සමඟ නැවට ඇතුළු වූ හ. 10සත් දවසකට පසු මිහි පිට ජලගැල්ම ඇති විය.
11 #
2 පේදු 3:6 නෝවාට වයස අවුරුදු හයසියයේ දී, දෙ වන මාසයේ හරියට ම දාහත් වන දින මහා සමුද්‍රයේ සියලු උල්පත් බිඳී ජලය ගලා ගියේ ය; අහසේ කවුළු විවෘත විය. 12දවල් සතළිසක් හා රාත්‍රි සතළිසක් තිස්සේ පොළොව පිට වැසි වැස්සේ ය.
13ඒ දවසෙහි ම නෝවා ද ඔහුගේ භාර්යාව ද ෂෙම්, හාම් හා ජපෙත් යන පුත්තු තිදෙනා ද ඔවුන්ගේ භාර්යාවෝ ද නැවට ඇතුළු වූ හ. 14ඔවුන් සමඟ සෑම වර්ගයේ වන මෘගයෝ ද ගවමහිෂයෝ ද උරගයෝ ද පක්ෂීහු ද පියාපත් සහිත සත්තු ද නැවට ඇතුළු වූ හ. 15සප්‍රාණික සියලු සත්තු, ගැහැණු-පිරිමි වශයෙන් ජෝඩුව බැගින් නැවට ඇතුළු වූ හ. 16දෙවියන් වහන්සේ ඔහුට අණ කළ ලෙස සියලු සත්තු ගැහැණු-පිරිමි වශයෙන් ජෝඩුව බැගින් ඔහු සමඟ නැවට ඇතුළු වූ හ. සමිඳාණන් වහන්සේ නෝවා නැවට ඇතුළු කොට දොර වැසූ සේක.
17පොළොව මත ජලගැල්ම දවස් සතළිසක් පුරා ගැලී ය. ජල මට්ටම නැගෙත් ම නැව පොළොවෙන් ඉලිප්පිණි. 18මිහි පිට ජලය නොනැවතී නඟින්න, නඟින්න නැව දියත් විය. 19පොළොව මත ගංවතුර වේගවත් ලෙස ගැලීමත් සමඟ අහස යට පිහිටි ඉතා උස් කඳු සියල්ල වතුරට යට විය. 20කඳු යට කර, කඳු මුදුන්වලට ද ඉහළින් මීටර් හතරක් ගංවතුර නැංගේ ය.
21පොළොව මත විසූ පක්ෂීහු ද ගවමහිෂයෝ ද වන මෘගයෝ ද උරගයෝ ද මිනිසා ද යන සියල්ලෝ මියගියෝ ය. 22ගොඩබිම විසූ පණ ඇති සියලු සත්ත්වයෝ මියගිය හ. 23උන් වහන්සේ ජීවමාන සියල්ල වන මිනිසා ද සිවුපාවුන් ද උරගයන් ද අහසේ පක්ෂීන් ද වනසා ඔවුන් මිහි පිටින් පහකරදැමූ සේක.
නෝවා සහ ඔහු සමඟ නැවේ සිටි අය පමණක් ඉතිරි වූ හ. 24පොළෝ තලය මත දවස් එකසිය පණහක් ම ජලගැල්ම පැවැතිණි.
Šiuo metu pasirinkta:
උත්පත්ති 7: SNRV
Paryškinti
Kopijuoti
Palyginti
Dalintis
Norite, kad paryškinimai būtų įrašyti visuose jūsų įrenginiuose? Prisijunkite arba registruokitės