උත්පත්ති 6

6
මිනිසාගේ දුෂ්ටකම
1එකල පොළෝ තලය මත ජන සංඛ්‍යාව බහුල විය; ජනතාවට දූවරු උපන්නාහ. 2මිනිස්-දූවරුන් සුරූපී බව දුටු දිව්‍ය-පුත්‍රයෝ, තම තමන් රිසි වූවන් සරණ පාවාගත්හ. 3එවිට සමිඳාණන් වහන්සේ, “මිනිසා මැරෙන සුලු බැවින් මාගේ ජීවන හුස්ම ඔහු තුළ සදහට ම පැවතීමට ඉඩ නොතබමි; මින් මතු ඔහුගේ ජීවිත කාලය අවුරුදු එකසිය විස්සකට වැඩි නොවන්නේ ය”යි වදාළ සේක.
4 # ගණන් 13:33 ඒ කාලයේ දීත්, ඉන්පසු වත්, මිහි පිට යෝධයෝ සිටියහ. මොවුහු මිනිස්-දූවරුන් හා දිව්‍ය-පුත්‍රයන්ගෙන් උපන් අය වෙත්; මොවුහු දූරාතීතයේ සිටි, සුප්‍රකට, ශ්‍රේෂ්ඨ වීරයෝ ය.
5 # මතෙ 24:37; ලූක් 17:26; 1 පේදු 3:20 මිහි පිට මිනිසාගේ දැඩි දුෂ්ටකම හා මිනිසා නිතර ම නපුරු සිතුවිල්ලෙන් කල් යවන බව සමිඳාණන් වහන්සේ දුටු විට 6මිහි පිට මිනිසා මැවීම ගැන උන් වහන්සේ ශෝක වූ සේක; උන් වහන්සේගේ හදවත සොවින් පෙළුණි. 7එබැවින් උන් වහන්සේ, “මා විසින් මවන ලද මිනිසා මම මිහි පිටින් වනසාලමි; ඔහු සමඟ ගවමහිෂයන් ද උරගයන් ද අහසේ පක්ෂීන් ද වනසාලමි; ඔවුන් මැවීම ගැන මම තැවෙමි”යි වදාළ සේක. 8එහෙත් උන් වහන්සේ අබිමුවෙහි නෝවා කරුණාව ලැබී ය.
9 # 2 පේදු 2:5 නෝවා පිළිබඳ පුවත මෙසේ ය; ඔහු සත්ගුණවත් මිනිසෙකි. ඔහුගේ පරම්පරාවේ නිදොස් මිනිසා ඔහු විය. ඔහු දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසුරුණේ ය. 10තවද, ඔහුට ෂෙම්, හාම්, ජපෙත් කියා පුත්තු තිදෙනෙක් උපන්හ. 11එහෙත්, ලෝවැසි සෙසු හැම දෙන ම දෙවියන් වහන්සේ අබිමුවෙහි දූෂ්‍ය වී සිටියහ; ඔව්හු සැහැසිකමින් පිරී සිටියහ. 12දෙවියන් වහන්සේ ලෝකය දෙස බලා එය දූෂ්‍ය වී ඇති බව දුටු සේක. මිහි පිට මිනිසාගේ කල්ක්‍රියා දරුණු ලෙස දූෂ්‍ය වී තිබුණේ ය.
නෝවා නැවක් සෑදීම
13තවද, දෙවියන් වහන්සේ නෝවාට කතා කොට මෙසේ වදාළ සේක: “සියලු මිනිසුන් වනසාලීමට මා තීරණය කර ඇත. මන්ද මිනිසා නිසා පොළෝ තලය ම සැහැසිකමින් පිරී තිබේ. එබැවින් මම ඔවුන් සමඟ පොළෝ තලය විනාශ කරදමමි. 14නුඹ සඳහා ගෝපෙර් නම් ලීයෙන් නැවක් සාදාගන්න; එහි කාමර තනා, නැව ඇතුළත හා පිටත කීල් තාර ගාන්න. 15නැවේ සැලැස්ම මෙසේ විය යුතු ය. එහි දිග මීටර් එකසිය තිස්තුනකි; පළල මීටර් විසිදෙකකි; උස මීටර් දහතුනකි. 16නැවට උඩින් පියස්සක් තනා, ඒ ආවරණය හා බිත්ති අතර සෙන්ටිමීටර් හතළිස්හතරක පරතරයක් තැබිය යුතු ය. පළමු වන, දෙ වන, තෙ වන වශයෙන් තට්ටු තුනක් ඇති ව නැව සාදා එහි එක පැත්තක දොර තබන්න. 17අහස යට සියලු සත්ත්වයන් වනසාලන පිණිස මම පොළෝ තලය මත ජලගැල්මක් පමුණුවන්නෙමි. එවිට පොළොව පිට ඇති සියලු දේ වැනසී යන්නේ ය. 18එහෙත්, නුඹ සමඟ මම මගේ ගිවිසුම පිහිටුවන්නෙමි. නුඹ ද නුඹ සමඟ නුඹේ පුතුන් ද නුඹේ භාර්යාව ද නුඹේ පුතුන්ගේ භාර්යාවන් ද නැවට ඇතුළු විය යුතු ය. 19පණ පිටින් රැකගනු පිණිස එක එක වර්ගයේ, සියලු සතුන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් දෙදෙනෙකු බැගින් නුඹ සමඟ නැව තුළට රැගෙන යා යුතු ය. 20නොමැරී බේරාගනු පිණිස සෑම වර්ගයක ම පක්ෂීන්ගෙන් ද සිවුපාවුන්ගෙන් ද උරගයන්ගෙන් ද දෙදෙනා බැගින් නුඹ සමඟ නැවට ඇතුළු විය යුතු ය. 21කෑම පිණිස විවිධ ආහාර රැස් කරගෙන යන්න; ඒවා නුඹට ද ඔවුන්ට ද ආහාර පිණිස විය යුතු ය.” 22#හෙබ්‍රෙ 11:7 මෙසේ දෙවියන් වහන්සේ අණ කළ සියල්ල නෝවා නොපිරිහෙළා ඉටු කෙළේ ය.

Šiuo metu pasirinkta:

උත්පත්ති 6: SNRV

Paryškinti

Kopijuoti

Palyginti

Dalintis

None

Norite, kad paryškinimai būtų įrašyti visuose jūsų įrenginiuose? Prisijunkite arba registruokitės