Logo de l'Aplicació de la Bíblia
Icona de cerca

එළිදරව්ව 17

17
අපකීර්තිමත් වේශ්‍යාව
1 # ජෙර 51:13 පාත්‍ර සත දැරූ දේව දූතයන් සත් දෙනාගෙන් එක් කෙනෙක් අවුත් මට කතා කොට, “මෙහි එන්න, බොහෝ ජල පිට හිඳින මහා වේශ්‍යාවගේ විනිශ්චය ඔබට පෙන්වන්නෙමි. 2#යෙසා 23:17; ජෙර 51:7පොළොවේ රජවරු ඈ සමඟ වේශ්‍යාකම් කළෝ ය. පොළොවේ වැසියෝ ද ඇගේ වේශ්‍යාකම් නමැති මුද්‍රික පානයෙන් මත් වුණෝ ය”යි කීවේ ය.
3 # එළිද 13:1 දේව දූතයා ආත්මයාණන්ගේ ආනුභාවයෙන් මරුකතරකට මා ගෙන ගියේ ය. එහි රතු ම රතු මෘගයෙකු පිට ස්ත්‍රියක වාඩි වී සිටිනු මම දිටීමි. ඒ මෘගයා දේවාපහාස නාමවලින් පිරී සිටියේ ය. ඌට හිස් සතක් ද අං දසයක් ද විය. 4#ජෙර 51:7ඒ ස්ත්‍රිය රත්නිල් හා තද රතු වස්ත්‍ර හැඳ රන්, මුතු, මැණික් ආභරණවලින් සැරසී සිටියා ය. පිළිකුල්කමින් ද ඇගේ අශික්ෂිත වේශ්‍යාකමින් ද පිරුණු රන් කුසලානක් ඈ අතේ විය. 5ඇගේ නළල පිට: “මහා බබිලෝනිය, පොළොවේ වේශ්‍යාවන්ගේ ද පිළිකුල්කම් වල ද මව” යන ගුප්ත නාමයක් ලියා තිබිණි. 6ඒ ස්ත්‍රිය සැදැහැවතුන්ගේ ද, ජේසුස් වහන්සේ නමින් දිවි පිදූවන්ගේ ද ලෙයින් මත් ව සිටියා ය. ඈ දුටු විට මම අතිශයින් පුදුම වීමි.
7දේව දූතයා මට කතා කොට, “ඔබ පුදුම වූයේ මන් ද? ස්ත්‍රියගේ ද, ඇය උසුලාගෙන යන හිස් සතක් හා අං දසයක් ඇති මෘගයාගේ ද, අබිරහස ඔබට කියමි”යි පැවසී ය. 8#ගීතා 69:28; දානි 7:7; එළිද 11:7ඔබ දුටු මෘගයා වරක් ජීවත් ව සිටියේ ය. දැන් නැත. ඌ පාතාලයෙන් නැඟී එන්නට ද විනාශයට යන්නට ද සිටින්නේ ය. ලෝකාරම්භයේ සිට ජීවන පොතෙහි නම් නොලියවුණු පොළොවෙහි වාසය කරන්නෝ, මෘගයා සිටි හැටිත්, දැන් නැති හැටිත්, මතු එන හැටිත් දැක පුදුම වන්නෝ ය.
9“නැණනුවණ අවශ්‍ය වන්නේ මෙතැන දී ය. හිස් සත නම් ස්ත්‍රිය වාඩි වී සිටින කඳු සත ය. තවද ඒ හිස් සත රජවරු සත් දෙනෙකි. 10පස් දෙනෙක් මළාහ, එක් කෙනෙක් තව ම සිටින්නේ ය, අනෙක් තැනැත්තා තව ම පැමිණියේ නැත. ඔහු පැමිණි කල ටික කලක් පමණක් සිටිය යුතු ය. 11ජීවත් ව සිටියා වූ ද දැන් නැත්තා වූ ද මෘගයා, සත් දෙනාගෙන් එකෙකු වන අතර, අටවැනියෙක් ද වේ. ඔහු විනාශයට යන්නේ ය.
12 # දානි 7:24 “ඔබ දුටු අං දසය නම් තව ම රජකම නොලත් රජවරු දස දෙනෙකි. එහෙත් ඔව්හු මෘගයා සමඟ එක පැයකට පමණක් රජවරුන් ලෙස රාජ බලය ලබන්නෝ ය. 13මොවුහු එක ම අරමුණක් ඇති ව, තමන්ගේ පරාක්‍රමයත් බලයත් මෘගයාට දෙති. 14මොවුහු බැටළු පෝතකයාණන්ට විරුද්ධ ව යුද්ධ කරන්නාහ. එහෙත් බැටළු පෝතකයාණෝ ඔවුන් පරාජය කරන සේක. මන්ද, උන් වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන් වහන්සේ ය; රජවරුන්ගේ රජාණෝ ය. උන් වහන්සේ සමඟ සිටින, කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝ ද, ඒ ජයග්‍රහණයට පංගුකාරයෝ වන්නාහ.”
15ඔහු මට තවදුරටත් කතා කොට, “වේශ්‍යාව වාඩි වී සිටි තැන ඔබ දුටු ජලය නම් මනුෂ්‍ය වර්ගයෝ ද ජනතාවෝ ද ජාතීහු ද භාෂාවෝ ද වෙති. 16ඔබ දුටු අං දසය හා මෘගයා නම් වේශ්‍යාවට වෛර බැඳ, ඈ සහමුලින් ම නග්න කර, ඇගේ මාංස කා, ඈ මුළුමනින් ගින්නෙන් දවන අය වෙති. 17මන්ද, දෙවියන් වහන්සේගේ වචනය ඉෂ්ට වන තුරු උන් වහන්සේගේ කැමැත්ත කිරීමට, තමන්ගේ රාජ්‍යය එක්සිත් ව මෘගයාට දෙන ලෙස, උන් වහන්සේ ඔවුන්ගේ සිත් කැමැති කරවූ සේක. 18ඔබ දුටු ස්ත්‍රිය නම් පොළොවේ රජුන් කෙරෙහි රජකම් කරන මහා නගරය”යි කීවේ ය.

Subratllat

Copia

Compara

Comparteix

None

Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió