Logo de l'Aplicació de la Bíblia
Icona de cerca

එළිදරව්ව 14

14
විමුක්ති ජය ගීතය
1 # එසකි 9:4; එළිද 7:3 තවද, බැටළු පෝතකයාණන් ද, උන් වහන්සේ සමඟ එක් ලක්ෂ සතළිස් සාර දහස් දෙනෙකුන් ද සියොන් කන්ද මත සිටිනු දිටිමි. ඔවුන්ගේ නළල්වල උන් වහන්සේගේ නාමය ද, උන් වහන්සේගේ පියාණන්ගේ නාමය ද ලියා තිබිණි. 2ගලා බසින මහා ජල ඝෝෂාවක් මෙන් ද, තද හෙණ හඬක් මෙන් ද වූ, අහසින් නික්මුණු ශබ්දයක් මට ඇසුණේ ය. මට ඇසුණ ශබ්දය වීණා වාදකයන්ගේ වාදනය මෙන් විය. 3ඔව්හු සිංහාසනය ඉදිරියෙහි ද, ජීවමාන සත්ත්වයන් සතර දෙනා සහ කුලදෙටුවන් ඉදිරියෙහි ද අලුත් ගීතිකාවක් ගායනය කළහ. ඒ ගීතිකාව, පොළොවෙන් මුදාගනු ලැබූ එක් ලක්ෂ සතළිස් සාර දහස් දෙනා හැර, අන් කිසිවෙකුට ඉගෙන ගත නොහැකි විය. 4ඔව්හු ස්ත්‍රී සේවනයෙන් නොකෙලෙසුණු බ්‍රහ්මචාරීහු ය. ඔව්හු, බැටළු පෝතකයාණන් යන යන තැන, උන් වහන්සේ අනුව යන්නෝ වෙති. ඔව්හු දෙවියන් වහන්සේටත්, බැටළු පෝතකයාණන්ටත් නාඹුල් පල වන පිණිස මනුෂ්‍යයන් අතරෙන් මුදා ගන්නා ලද්දෝ ය. 5#ශෙප 3:13ඔවුන්ගේ මුඛයෙන් කවදාවත් බොරුවක් පිට නො වී ය. ඔව්හු නිර්මල ය.
දේව දූතයන් තිදෙනාගේ පණිවුඩය
6පොළෝ වාසීන්ට ද සියලු ජාතීන්ට ද ගෝත්‍රයන්ට ද භාෂාවන්ට ද සෙනඟට ද ප්‍රකාශ කරන පිණිස සදාතන සුබ අස්නක් ඇති ව, මැද අහසේ පියාසර කරමින් සිටි තවත් දේව දූතයෙකු මම දිටිමි. 7ඔහු මහ හඬින් මෙසේ කී ය: “දෙවියන් වහන්සේට බිය වී උන් වහන්සේට ගෞරව කරන්න. මන්ද, උන් වහන්සේගේ විනිශ්චයේ මොහොත පැමිණ ඇත. අහස හා පොළොවත්, මුහුද හා දිය උල්පතුත් මවා වදාළ තැනැන් වහන්සේට නමස්කාර කරන්න.”
8 # යෙසා 21:9; ජෙර 51:8; එළිද 18:2 ඒ දේව දූතයා පසුපසින් ගිය දෙ වන දේව දූතයෙක්: “තදබල කාමරාගය නමැති මද්‍යසාරය සියලු ජාතීන්ට පෙවූ මහා බබිලෝනිය වැටුණා ය, මහා බබිලෝනිය වැටුණා ය, වැටුණා ය”යි කී ය.
9තුන් වන දේව දූතයෙක් ද, ඒ දෙදෙනා පස්සේ යමින් මහ හඬින් මෙසේ කී ය. “යමෙක් මෘගයාටත් උගේ රූපයටත් නමස්කාර කර, ඔහුගේ නළලේ හෝ අතේ හෝ ලකුණක් තබනු ලබන්නේ ද, 10#උත් 19:24; යෙසා 51:17; එසකි 38:22ඔහුත් දෙවියන් වහන්සේගේ උදහස නමැති කුසලානට වත් කරන ලද උන් වහන්සේගේ කෝපය නමැති අමිශ්‍ර මුද්‍රික පානය බොන්නේ ය. ඔහු ශුද්ධ දේව දූතයන් ඉදිරියෙහි ද, බැටළු පෝතකයාණන් ඉදිරියෙහි ද ගින්නෙන් හා ගෙන්දගම්වලින් වද වේදනා විඳින්නේ ය. 11#යෙසා 34:10ඔවුන්ගේ වේදනාව නමැති ධූමය සදහට ම නඟින්නේ ය. මෘගයාටත් උගේ රූපයටත් නමස්කාර කරන්නෝ ද උගේ නාමයේ සලකුණ ලබන්නෝ ද දිවා රෑ දෙක්හි විවේකයක් නොලබන්නෝ ය.” 12දෙවියන් වහන්සේගේ ආඥා ද, ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ද රක්ෂා කරන සැදැහැවතුන්ට ඉවසීම අවශ්‍ය වන්නේ මේ නිසා ය.
13එවිට: “මෙතැන් පටන් සමිඳාණන් වහන්සේ තුළ නසින්නෝ භාග්‍යවන්තයෝ ය කියා ලියන්නැ”යි ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසුණේ ය. “එසේ ය, ඔව්හු තමන්ගේ වෙහෙසීම්වලින් නිවාඩු ලබති: ඔවුන්ගේ ක්‍රියා ඔවුන් කැටුව යන්නේ ය”යි ආත්මයාණන් වහන්සේ වදාරන සේක.
පොළොවේ අස්වැන්න නෙළීම
14 # දානි 7:13 තවද සුදු වලාකුළක් ද, ඒ වලාකුළ මත සිය හිසේ රන් කිරුළක් සහ අතේ මුවහත් දෑකැත්තක් ද ඇති මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි කෙනෙකු වැඩ සිටිනු දිටිමි. 15#ජෝවෙ 3:13එවිට තවත් දේව දූතයෙක් දේව මාලිගාවෙන් නික්ම අවුත්, වලාකුළ පිට වැඩහුන් තැනැන් වහන්සේට මහ හඬින් මොරගසා: “ඔබ වහන්සේගේ දෑකැත්ත යොදා කැපුව මැනව; මන්ද, පොළොවේ ගොයම් හොඳට ම පැසී තිබෙන බැවින්, කපන කාලය පැමිණ ඇතැ”යි කී ය. 16එවිට වලාකුළ පිට වැඩහුන් තැනැන් වහන්සේ දෑකැත්ත පොළොවෙහි දැමූ සේක. පොළොවෙහි ගොයම් කපනු ලැබී ය.
17තවත් දේව දූතයෙක් ස්වර්ගයෙහි වූ දේව මාලිගාවෙන් නික්ම ආවේ ය. ඔහුට ද මුවහත් දෑකැත්තක් තිබිණි. 18එවිට ගින්න බාර ව සිටි තවත් දේව දූතයෙක් පූජාසනයෙන් නික්ම අවුත්, මුවහත් දෑකැත්ත ඇති ව සිටි තැනැත්තාට මහ හඬින් මොරගසා, “ඔබේ මුවහත් දෑකැත්ත යොදා පොළොවේ මිදි වැලේ මිදි පොකුරු කපා රැස් කරන්න. මන්ද, මිදි පොකුරු ඉදී ඇතැ”යි කී ය. 19දේව දූතයා තමාගේ දෑකැත්ත පොළොවෙහි යොදා, පොළොවෙහි මිදි පල රැස් කොට, දෙවියන් වහන්සේගේ උදහස නමැති මහා මිදි මිරිකන වළට හෙළී ය. නුවරින් පිටත ඒ වළේ මිදි පාගන ලදී. 20#යෙසා 63:3; විලාප 1:15; එළිද 19:15එවිට කිලෝමීටර් තුන් සියයක් පමණ දුරට ද, අශ්වයෙකුගේ කටකලියාව දක්වා උසට ද, ඒ වළෙන් ලේ ගලා ගියේ ය.

Subratllat

Copia

Compara

Comparteix

None

Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió