Logo de l'Aplicació de la Bíblia
Icona de cerca

2 කොරින්ති 4

4
දේවසම්පත් දරන මැටි බඳුන්
1මේ සේවය දේව වරප්‍රසාදයෙන් අප පිට පවරා ඇති බැවින් අප අධෛර්ය නොවෙමු. 2ලජ්ජා සහිත රහසිගත ක්‍රියා අපි අත් හළෙමු; කපටි කමින් අපි ජීවත් නොවෙමු; දෙවියන් වහන්සේගේ වචනය වෙනස් නොකර, අපි සත්‍යය එළිදරව් කරමු. එසේ කරමින්, දෙවියන් වහන්සේ ඉදිරියෙහි සියලු මනුෂ්‍යයන්ගේ හෘදය සාක්ෂියට අපි අප ම රෙකමදාරු කරගනිමු. 3අපගේ සුබ අස්න සැඟවුණු දෙයක් නම්, එය සැඟවී ඇත්තේ විනාශ වෙන්නන්ට ය. 4දෙවියන් වහන්සේගේ ස්වරූපය වන ක්‍රිස්තුන් වහන්සේගේ තේජාන්විත සුබ අස්නේ ප්‍රභාව නොපෙනෙන සේ මෙලොව දෙවියා නොඇදහිලිවන්තයන්ගේ සිත් අඳුරු කර ඇත. 5මන්ද, අපි අප ගැන ම නොව, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ස්වාමීන් බවත්, ජේසුස් වහන්සේ උදෙසා අප ඔබගේ දාසයන් බවත් ප්‍රකාශ කරමු. 6#උත් 1:3 “අන්ධකාරයෙන් ආලෝකය නික්ම ඒවා”යි වදාළ එම දෙවියන් වහන්සේ ම, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මුහුණෙහි දෙවියන් වහන්සේගේ තේජස දැනගැන්ම නමැති ආලෝකය, අපගේ සිත් තුළ බැබළෙවූ සේක.
7එහෙත් මේ අති ශ්‍රේෂ්ඨ බලය අපගෙන් නොව දෙවියන් වහන්සේගෙන් වන බව දක්වන පිණිස, අප මේ වස්තුව රැස් කර තැබූ මැටි බඳුන් හා සමාන ය. 8අපි හැම අතින් ම මඩිනු ලැබුවත් කොටු වී නොසිටිමු. වියවුල් වුවත් බලාපොරොත්තු රහිත නොවෙමු; 9ලුහුබඳිනු ලැබුවත් අතරමං නොවෙමු; පහර ලැබුවත් නොවැනසෙමු. 10ජේසුස් වහන්සේගේ ජීවිතය අපේ ශරීරයෙන් ප්‍රකාශ වන පිණිස උන් වහන්සේ මරණයට භාජනය වූ ලෙස ම, අපිත් නිතර ම ශාරීරික වශයෙන් මරණයට භාජනය වෙමින් සිටිමු. 11අපගේ මැරෙනසුලු ශරීරයේ ජේසුස් වහන්සේගේ ජීවනය ප්‍රකාශ වන පිණිස, අපි ජීවත් ව සිටිය දී නිතර ම මරණයට පාවා දෙනු ලැබ සිටිමු. 12මෙලෙස අප කෙරෙහි බලපාන්නේ මරණයයි. ඔබ කෙරෙහි බලපාන්නේ ජීවනයයි.
13 # ගීතා 116:10 තවද, “මම විශ්වාස කළ නිසා කතා කෙළෙමි”යි ශුද්ධ ලියවිල්ල කියයි. එම ඇදහිල්ල ඇති අපිත් විශ්වාස කරන නිසා කතා කරමු. 14ස්වාමීන් වන ජේසුස් වහන්සේ උත්ථාන කළ දෙවියන් වහන්සේ, ජේසුස් වහන්සේ සමඟ අපත් උත්ථාන කරන බව ද, ඔබ සමඟ අපත් උන් වහන්සේ ඉදිරියට පමුණුවන බව ද අපි දනිමු. 15මේ සියල්ල ඔබ උදෙසා සලසා ඇත්තේ දේව වරප්‍රසාදය බොහෝදෙනෙකු වෙත පැතිරී වැඩි වී යාමෙන් දෙවියන් වහන්සේගේ මහිමය සඳහා ස්තුති දීම ද අධික වන පිණිස ය.
ඇදහිල්ලෙන් ජීවත් වීම
16එබැවින් අපි අධෛර්ය නොවෙමු. බාහිර වශයෙන් අප දිරාපත් වෙමින් සිටියත්, අභ්‍යන්තරික වශයෙන් අපි දිනෙන් දින ම අලුත් වෙමින් පවතිමු. 17දැනට අප විඳින තාවකාලික සුළු දුක, එය මුළුමනින් ම ඉක්මවා යන සදාතන තේජස් සම්භාරයකට මඟ පාදයි. 18මන්ද, අප නෙත් යොමුකර සිටින්නේ දෘශ්‍යමාන දේ දෙස නොව අදෘශ්‍යමාන දේ දෙස ය. දෘශ්‍යමාන දේ තාවකාලික ය; අදෘශ්‍යමාන දේ සදාතනික ය.

Subratllat

Copia

Compara

Comparteix

None

Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió