Logo de l'Aplicació de la Bíblia
Icona de cerca

2 කොරින්ති 3

3
අලුත් ගිවිසුමේ සේවකයෝ
1මෙසේ අපි, අප ගැන ම රෙකමදාරුවක් කරන්නට පටන් ගනිමු ද? නැත්නම් සමහරුන්ට වුවමනා වන සේ අපටත් ඔබට දීමට හෝ ඔබෙන් ලබාගැනීමට හෝ රෙකමදාරු ලිපි වුවමනා ද? 2නැත. අපට ඇති රෙකමදාරු ලිපිය නම් ඔබ ම ය; එය අපේ සිත්වල ලියා ඇත. සියල්ලන්ට ම එය කියවා දැනගත හැකි ය. 3#නික්ම 24:12; ජෙර 31:33; එසකි 11:19; 36:26 ඔබ වනාහි අප විසින් එවන ලද ‘ක්‍රිස්තුන් වහන්සේගේ ලිපිය’ බව පැහැදිලි ය. එය ලියා ඇත්තේ තීන්තෙන් නොව, ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන ය. ගල් පුවරුවල නොව, මිනිස් සිත් නමැති පුවරුවල ය.
4ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේ ඉදිරියෙහි අපට එවැනි සහතිකයක් ඇත. 5එහෙත් මේ සියල්ල කිරීමේ හැකියාව අපගේ ම යයි කීමට පුළුවන්කමක් අපට නැත. අපගේ හැකියාව එන්නේ දෙවියන් වහන්සේගෙන් ය. 6#ජෙර 31:31 අලුත් ගිවිසුමේ සේවකයන් වීමේ හැකියාව දුන්නේ උන් වහන්සේ ය. ඒ ගිවිසුම ලිඛිත නීතියෙන් නොව ශුද්ධාත්මයාණන්ගෙනි. ලිඛිත නීතිය මරණය ගෙන දෙයි. ශුද්ධාත්මයාණෝ ජීවනය ගෙන දෙති.
7 # නික්ම 34:29 අකුරින් අකුර ගලේ ලියා කොටන ලද ව්‍යවස්ථාව මරණය ඇති කළ නමුත්, එය ප්‍රදානය කරන ලද්දේ මහා තේජසිනි. ඒ තේජස පහ ව යන්නක් වූ නමුත්, එයින් උද්දීපනය වූ මෝසෙස්ගේ මුහුණ දෙස නෙත් යොමු කර බලා සිටීම ඉශ්රායෙල් සෙනඟට නොහැකි තරමට එය දීප්තිමත් විය. 8එය එසේ නම්, ශුද්ධාත්මයාණන් ප්‍රදානය කිරීම කරණකොටගෙන ඇති වන තේජස ඊට වඩා කෙතරම් දීප්තිමත් වේ ද? 9අප වරදට පත් කළ ව්‍යවස්ථාව ප්‍රදානය කිරීම තේජාන්විත වී නම්, අප දමිටු කරන ශුද්ධාත්මයාණන් වහන්සේ ප්‍රදානය කිරීම ඊටත් වඩා තේජාන්විත නොවේ ද? 10කලින් තේජසින් පැමිණි දේ දැන් පහ ව ගොස් ඇත. ඒ තේජස පරදවන ඊට වඩා මහා තේජසක් දැන් පැමිණ තිබේ. 11පහ ව යන දේ තේජාන්විත වී නම් සදහට ම පවතින දේ ඊටත් වඩා තේජාන්විත නොවේ ද?
12මෙවැනි බලාපොරොත්තුවක් අපට ඇති බැවින් අපි නිර්භීත ව කතා කරමු. 13#නික්ම 34:33 පහ ව යන තේජස ඉශ්රායෙල් සෙනඟ නොදකින පිණිස මුහුණු වැස්මක් දමාගත් මෝසෙස්ට අපි සමාන නොවෙමු. 14එහෙත් ඔවුන්ගේ සිත් දැඩි වී තිබිණි. මන්ද, අද දක්වා ම පුරාණ ගිවිසුමෙන් කියවන විට එම වැස්ම ඉවත් නොකොට පවතී. ඒ වැස්ම ඉවත් කරනු ලබන්නේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන පමණ ය. 15සැබැවින් ම, අද දක්වා මෝසෙස්ගේ ව්‍යවස්ථාව කියවන විට, ඔවුන්ගේ සිත් වැස්මකින් ආවරණය වී ඇත. 16#නික්ම 34:34 එසේ වුවත් ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි, යමෙක් සමිඳාණන් වහන්සේ වෙත හැරුණු විට, වැස්ම ඉවත් කරනු ලැබේ. 17ඒ සමිඳාණන් වහන්සේ ශුද්ධාත්මයාණෝ වන සේක. සමිඳාණන් වහන්සේගේ ආත්මයාණන් යම් තැනක ද, එතැන නිදහස ඇත. 18අපි සියල්ලෝ, වැස්ම ඉවත ලූ මුහුණුවලින් සමිඳාණන් වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් පිළිබිඹු කරමු. මෙලෙස ආත්මයාණන් වන සමිඳාණන් වහන්සේගෙන් එන තේජස, අප උන් වහන්සේගේ සමානත්වයට වඩ වඩා තේජාන්විත ව පමුණුවනු ඇත.

Subratllat

Copia

Compara

Comparteix

None

Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió