Logo de l'Aplicació de la Bíblia
Icona de cerca

1 පේදුරු 4

4
දේව කැමැත්ත අනුව ජීවත් වීම
1ක්‍රිස්තුන් වහන්සේ ශාරීරික වශයෙන් දුක් වින්ද බැවින්, ඔබත් එවැනි අධිෂ්ඨානයකින් සැරසී සිටින්න. මන්ද, ඒ අන්දමින් ශාරීරික ලෙස දුක් වින්ද තැනැත්තේ පාපයෙන් නිදහස් වී සිටියි. 2එවිට මේ ජීවිතයේ ඉතිරි කාලයේ තවදුරටත් මනුෂ්‍ය තෘෂ්ණා අනුව නොව, දේව කැමැත්ත ලෙස ඔහුට ජීවත් විය හැකි ය. 3මන්ද, විජාතීන් කැමැති දේ කිරීමට පසුගිය කාලයේ දී ඔබටත් ඇති තරම් කල් වේලා තිබිණි. ඒ කාලයේ දී ඔබ අනාචාරකමින් ද සල්ලාලකමින් ද බීමත්කමින් ද අශෝභන උත්සවවලින් ද මධුපානෝත්සවවලින් ද පිළිකුල් රූප ඇදහිල්ලෙන් ද ජීවිතය ගත කළහු ය. 4විජාතීන් සමඟ ඔබ අධික අවකල් ක්‍රියාවල නොයෙදෙන බැවින් ඔව්හු ඒ ගැන පුදුම වී ඔබට අපහාස කරති. 5ජීවතුන් හා මළවුන් විනිශ්චය කරන්නට සිටින තැනැන් වහන්සේට ඔවුන් වග උත්තර දිය යුතු ව ඇත. 6මක්නිසා ද මළවුන්ට පවා ශුභාරංචිය දේශනා කරනු ලැබී ය. මන්ද, සියලු මනුෂ්‍යයන් විනිශ්චය කරන ආකාරයට මාංසයෙන් විනිශ්චය කරනු ලබන නමුත්, ආත්මයෙන් දෙවියන් වහන්සේ මෙන් ජීවත් වන පිණිස ය.
7සියලු දේවල අවසානය ළං වී ඇත. එබැවින් ඔබ සිහි කල්පනාවෙන් යුතු ව යාච්ඤාව සඳහා අවදිව සිටින්න. 8#හිතෝ 10:12ප්‍රේමය පව් රාශියක් කමා කිරීමට හේතු වන බැවින්, සියලු දේට වඩා එකිනෙකා කෙරෙහි ඉමහත් ප්‍රේමයක් ඇති ව සිටින්න. 9මැසිවිලි නොකියා එකිනෙකාට ආගන්තුක සත්කාර කරන්න. 10දෙවියන් වහන්සේගේ විවිධාකාර වරප්‍රසාදවල විශ්වාසී ගබඩාකාරයන් මෙන්, එකිනෙකා ලබා ඇති කුශලතා එකිනෙකාට සේවය කරන පිණිස යොදන්න. 11යමෙක් දේශනා කරන්නේ නම් දේව වචනය දේශනා කෙරේ වා! යමෙක් සේවය කරන්නේ නම්, දෙවියන් වහන්සේ ප්‍රදානය කරන ශක්තිය අනුව ඔහු සේවය කරා වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේට සියලු කාරණාවල දී ගෞරව පැමිණෙන පිණිස එසේ කළ යුතු ය. මහිමයත්, පරාක්‍රමයත් සදහට ම උන් වහන්සේගේ ය. ආමෙන්.
කිතුනුවන් වශයෙන් දුක් විඳීම
12ප්‍රේමවන්තයෙනි, ඔබ පරීක්ෂා කර බලන පිණිස පැමිණෙන, ඔබ අතර ඇති පීඩා නමැති ගින්න ගැන, නොසිතූ දෙයක් ඔබට සිදු වන්නාක් මෙන් පුදුම නොවන්න. 13එසේ නොව, ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීමට පංගුකාරයන් වන තරමට ප්‍රීති වන්න. මෙසේ උන් වහන්සේගේ තේජාන්විත එළිදරව්වීමේ දී ඔබ ප්‍රීතියෙන් ප්‍රමුදිත වනු ඇත. 14ක්‍රිස්තුන් වහන්සේගේ නාමය නිසා නින්දා කරනු ලබන්නහු නම් ඔබ ආශීර්වාද ලද්දහු ය. මන්ද, තේජාන්විත ආත්මයාණන් වහන්සේ වන දෙවියන් වහන්සේගේ ආත්මයාණෝ ඔබ කෙරෙහි රඳන සේක. 15ඔබෙන් කිසිවෙකු මිනී මරන්නෙකු හෝ, සොරෙකු හෝ, අපරාධකරුවෙකු හෝ අනුන්ගේ කාරණාවලට මැදිවන්නෙකු හෝ ලෙස දුක් නොවිඳිය යුතු ය. 16එහෙත් යමෙක් කිතුනුවෙකු මෙන් දුක් විඳී නම්, ඒ ගැන ලජ්ජා නොවී, ඔබ කිතුනු නාමය දරන බැවින් දෙවියන් වහන්සේට ගෞරව කරන්න.
17විනිශ්චය කිරීමේ කාලය පැමිණ ඇත; පළමුකොට විනිශ්චය කරනු ලබන්නේ දෙවියන් වහන්සේගේ ම සෙනඟ ය. එය අපෙන් පටන්ගන්නේ නම්, දෙවියන් වහන්සේගේ සුබ අස්නට කීකරු නොවන්නන්ගේ ඉරණම කුමක් වනු ඇද් ද? 18#හිතෝ 11:31 ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි:
“දැහැමි කෙනෙකුට ගැළවීම දුෂ්කර වේ නම්, අභක්තිකයාට හා පාපිෂ්ඨයාට කුමකින් කුමක් වෙයි ද?”
19එහෙයින් දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව දුක් විඳින්නෝ යහපත කරමින්, විශ්වාස කටයුතු මැවුම්කාරයාණන්ට තමන් ම භාර වෙත්වා!

Subratllat

Copia

Compara

Comparteix

None

Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió