Logo de l'Aplicació de la Bíblia
Icona de cerca

1 පේදුරු 3

3
ස්ත්‍රී පුරුෂයන්ට යුතු හැසිරීම
1 # එපී 5:22; කොලො 3:18 එසේ ම භාර්යාවෙනි, ඔබගේ ස්වාමි පුරුෂයන්ට යටත් වන්න. එවිට ඔවුන්ගෙන් සමහරෙක් සුබ අස්න නොඅදහන්නන් වුවත්, 2ඔබගේ නිර්මල, විනීත හැසිරීමෙන් ඔවුන් දිනාගැනීමට හැකි වනු ඇත. 3#1 තිමෝ 2:9 ඔබගේ අලංකාරය, කොණ්ඩා මෝස්තර ද රන් රිදී ආභරණ ද ඇඳුම් පැළඳුම් ද යන බාහිර දේ පිට රඳා නොතිබිය යුතුයි. 4එය පෙන්විය යුත්තේ අභ්‍යන්තරයෙහි, හදවතින් නඟින කාරුණික තැන්පත් ගතිපැවතුම් මඟිනි. ඒ අලංකාර ය; දිරා නොයන සුලු ය; දෙවියන් වහන්සේ ඉදිරියේ ඉතා අගනේ ය. 5පුරාණ කාලයේ දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව තැබූ භක්තිවන්ත ස්ත්‍රීවරු ස්වකීය ස්වාමි පුරුෂයන්ට යටත් ව මෙලෙස අලංකාරවත් වූ හ. 6#උත් 18:12 ඒ අයුරින් සාරා ආබ්‍රහම්ට “මාගේ ස්වාමියා” යයි කියමින් කීකරු වූවා ය. ඔබත්, බිය නොවී යහපත කරන්නහු නම් ඇගේ දරුවෝ වන්නහු ය.
7 # එපී 5:25; කොලො 3:19 එසේ ම පුරුෂයෙනි, ඔබගේ විවාහ ජීවිතයේ දී ඔබත් ඔබගේ භාර්යාවන් සමඟ අවබෝධයෙන් යුතු ව හැසිරෙන්න. ඔවුන් දුබල පක්ෂය වන බැවින් ඔවුන්ට ගෞරව කරන්න. මන්ද, ඔබ හා සමඟ ඔව්හු ද දෙවියන් වහන්සේ නොමිලයේ දෙන දීමනාව වූ ජීවිතයට හවුල් උරුමක්කාරයෝ වන්නහු ය. එවිට ඔබේ යාච්ඤාවලට බාධා නොපැමිණෙයි.
ධර්මිෂ්ඨකම නිසා දුක් විඳීම
8අවසාන කොට ඔබ සියල්ලෝ ම එක්සිත් ව ද සානුකම්පික ව ද සහෝදර ස්නේහය ඇති ව ද සිටින්න. දයාව ද යටහත්කම ද ඇති ව සිට, 9නපුරට නපුර වත්, නින්දාවට නින්දාව වත් නොකරන්න. ඒ වෙනුවට, ආශීර්වාදයක් උරුම වන පිණිස ඔබ කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාද ම කරන්න. 10#ගීතා 34:12-16 ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත:
“ජීවිතයට ප්‍රේම කරන, වාසනාවන්ත දවස් දැකීමට කැමැති තැනැත්තේ තමාගේ දිව නපුරෙන් ද තොල් වංචා සහගත වදනින් ද වළක්වාගනී වා!
11නපුරට පිටුපා යහපත කරා වා!
සාමය සොයා එය ලුහුබඳී වා!
12මන්ද, ස්වාමීන්ගේ දෙනෙත් දමිටුන් දෙසටත්, දෙසවන් ඔවුන්ගේ යැදුම් දෙසටත් යොමා ඇත.
එහෙත් ස්වාමීන්ගේ වත දුදනන්ට එරෙහි ව ඇත.”
13ඔබ යහපතට කැප වී සිටින්නහු නම් ඔබට අනතුරු කරන්නේ කවරෙක් ද? 14#මතෙ 5:10 #යෙසා 8:12-13 එහෙත් ඔබ දමිටුකම නිසා දුක් විඳින්නහු නම් ඔබ ආසිරි ලද්දහු ය. ඔවුන්ට බිය නොවී, නොකැළඹී සිටින්න. 15ඔබගේ සිතින් ක්‍රිස්තුන් වහන්සේට සමිඳාණන් වහන්සේ හැටියට, ගෞරව කරන්න. ඔබට ඇති බලාපොරොත්තුව ගැන ඔබෙන් ප්‍රශ්න කරන සියල්ලන්ට පිළිතුරු දීමට නිතර සූදානම් ව සිටින්න. 16එහෙත් ආචාරශීලී ව ද ගෞරවයෙන් යුක්ත ව ද එසේ කළ යුතු ය. ඔබ නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව සිටින්න. එවිට ඔබට අපහාස කරමින් ඔබට විරුද්ධ ව කතා කරන අය, ක්‍රිස්තුන් වහන්සේගේ අනුගාමිකයන් වශයෙන් ඔබේ යහපත් හැසිරීම දැක ලජ්ජාවට පැමිණෙනු ඇත. 17ඔබ යහපත කර දුක් විඳීම දේව කැමැත්ත වේ නම්, එය නපුර කර දුක් විඳීමට වඩා හොඳ ය.
18ක්‍රිස්තුන් වහන්සේ ඔබේ පව් උදෙසා වරක් දිවි පිදූ සේක. උන් වහන්සේ ධර්මිෂ්ඨ ව සිටි නමුත් දෙවියන් වහන්සේ වෙතට ඔබ පමුණුවන පිණිස අධර්මිෂ්ඨයන් වෙනුවෙන් දිවි පිදූ සේක. උන් වහන්සේ මනුෂ්‍ය ස්වභාවයෙන් මරණයට පත් කරනු ලැබූ සේක; ආත්මික ස්වභාවයෙන් උත්ථාන කරනු ලැබූ සේක. 19එම ආත්මික ස්වභාවයෙන් උන් වහන්සේ ගොස් සිර ගෙයි සිටි ආත්මයන්ට ප්‍රකාශ කළ සේක. 20#උත් 6:1—7:24 ඔව්හු වනාහි නෝවාගේ කාලයේ දී ඔහු නැව සාදන අතර, දෙවියන් වහන්සේ ඉවසිල්ලෙන් සිටිය දී උන් වහන්සේට අකීකරු වූ ආත්මයන් වෙති. ඒ නැවට ඇතුළු වූ, ස්වල්ප දෙනෙක්, එනම්, අට දෙනෙක් වතුරෙන් ගළවනු ලැබුවෝ ය. 21මෙහි වතුර යන්නෙන් අදහස් කරනු ලබන්නේ අපට ගැළවීම ලබා දෙන බව්තීස්ම-ස්නාපනය යි. එය වනාහි ශරීරයේ කිළුටු සේදීමක් නොව, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුනරුජ්ජීවනය කරණකොටගෙන නිදොස් හෘදය සාක්ෂියකින් දෙවියන් වහන්සේට කරන පොරොන්දුවක් ය. 22උන් වහන්සේ ස්වර්ගයට වැඩම කර දෙවියන් වහන්සේගේ දකුණත වැඩ සිටින සේක. දේව දූතයෝ ද බලතාවයෝ ද අනුභාවයෝ ද උන් වහන්සේට යටත් කරනු ලැබූ හ.

Subratllat

Copia

Compara

Comparteix

None

Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió