Chapa ya Youversion
Ikoni ya Utafutaji

උත්පත්ති 31

31
යාකොබ්, ලාබාන් වෙතින් පලා යෑම
1ලාබාන්ගේ පුතුන්, “අපේ පියා සතු හැම දේ යාකොබ් පැහැරගෙන; මේ සියලු ධන සම්පත් ඔහු අත්කර ගෙන ඇත්තේ, අපේ පියාට අයිති දෙයිනි” යි කියනු යාකොබ්ට ඇසිණි. 2තවද තමා වෙත ලාබාන් පෙර පරිදි ප්‍රිය මනාප බවක් නො දක්වන බැව් යාකොබ් දුටුවේ ය.
3එකල ස්වාමින්වහන්සේ යාකොබ් ඇමතූ සේක්: “ඔබේ පියවරුන්ගේ දේශයට, ඔබේ නෑයින් වෙතට ආපසු යන්න; මම, ඔබ සමඟ සිටින්නෙමි” යි පැවසූ සේක.
4එබැවින් තම එළු බැටළු රංචු සිටි තණ පිටියට එන ලෙස පණිවුඩ යවා, රාඛෙල් හා ලෙයා කැඳවූ යාකොබ්, 5ඔවුන් අමතමින්, “ඔබේ පියා මට පෙර පරිදි ප්‍රිය මනාප බවක් දැන් නො දක්වන වග මට පෙනේ. එහෙත් මගේ පියාගේ දෙවියන්වහන්සේ මා සමඟ වූ සේක. 6මා මගේ මුළු ශක්තියෙන් ඔබේ පියාට වැඩ කර දුන් වග ඔබ දනී. 7එහෙත් ඔබේ පියා මට වංචා කරමින්, දහ වාරයක් මගේ කුලිය වෙනස් කළා. එහෙත් මට අනර්ථයක් කිරීමට දෙවියන්වහන්සේ ඔහුට ඉඩ දුන්නේ නෑ. 8‘පුල්ලි වැටුණු උන් ඔබගේ කුලිය වන්නේ යැ’ යි ඔහු කී කල, සියලු සත්ව රංචු පුල්ලි වැටුණු පැටවුන් ගැසුවා. ‘වයිරම් සහිත උන් ඔබේ කුලිය වන්නේ යැ’ යි ඔහු කී කල, සියලු රංචු වයිරම් සහිත පැටවුන් ගැසුවා. 9මෙසේ දෙවියන්වහන්සේ ඔබේ පියාගේ සත්ව සම්පත ඔහුගෙන් ඉවත් කර, උන් මට දී තියෙනවා.
10“සතුන් පට්ටි ගැසෙන සමයේ දවසක මා සිහිනයක් දැක්කා. මා බැලූ කල දුටුවේ, දෙනුන් පිට නගින එළු වස්සන් වයිරම් ද පුල්ලි ද තිත් ද සහිත උන් බවයි. 11දෙවියන්වහන්සේගේ දූතයා ඒ සිහිනේදී, ‘යාකොබ්’ කියා මා ඇමතුවා. ‘මම මෙහේ’ යි මා පිළිතුරු දුන් කල, 12උන්වහන්සේ, ‘ඔබේ නෙත් යොමා, බලන්න; දෙනුන් පිට නගින සියලු එළු වස්සෝ වයිරම් ද පුල්ලි ද තිත් ද සහිත එවුවෝයි. මන්ද ලාබාන් ඔබට කරන හැම දෙයක් ම මම දැක්කා. 13ඔබ සැමරුම් කණුවක් කොට ආලේප කළ තැන, ඔබ මට බාරයක් වූ තැන වන බෙතෙල්හි දෙවියන්වහන්සේ මමයි. දැන් නැගිට, මේ දේශය අත්හැර, ඔබේ නෑයින්ගේ දේශයට ආපසු යන්න’ කීවා” යි පැවසී ය.
14එවිට රාඛෙල් හා ලෙයා පිළිතුරු දෙමින්, “අපේ පියාගේ ගෙදර යම් පංගුවක් හෝ උරුමයක් හෝ තවත් අපට තියේ ද? 15ඔහු අප සලකා ඇත්තේ පිටස්තරයින් ලෙස නො වේ ද? ඔහු අප විකුණා ඇතිවා පමණක් නො වේ; අප විකුණූ මිලයත් මුළුමනින් ම වියදම් කරලා; 16දෙවියන්වහන්සේ අප පියාගෙන් ඉවත් කළ සියලු ධන සම්පත සැබවින් ම හිමි අපටත්, අපේ දරුවන්ටත්; එබැවින් ඔබට දෙවියන්වහන්සේ කී ලෙස කරන්නැ” යි කීහ.
17එකල යාකොබ් නැගිට, තම දරුවන් ද තම භාර්යාවන් ද ඔටුවන් පිට නංවා, 18කානාන් දේශයේ තම පියා වන ඊසාක් වෙත යන පිණිස, තමාට පෙරටුවෙන් තම මුළු සත්ව සම්පත දක්කාගෙන පිටත් වූයේ, ඔහු රැස් කර ගෙන තිබූ සියලු වස්තුව ද පදන්-අරාම්හි දී ඔහු අත්කර ගත් සත්ව සම්පත ද සමඟිනි.
19ලාබාන් තම බැටළුවන්ගේ ලොම් කපන්නට ගොස් සිටි අතරේ රාඛෙල් තම පියාගේ ගෘහ දේව පිළිම සොරා ගත්තා ය. 20යාකොබ් ද තමා පලා යන වග නො කීමෙන්, අරාමීය ලාබාන් රැවටී ය. 21ඔහු තමා සතු ව තිබූ සියල්ල ගෙන, පලා ගියේ ය. ඔහු ගංගාවෙන්#31:21 ගංගාවෙන් එනම් යුප්‍රටීස් එතෙර ව, ගිලියාද් කඳුරට බලා ගමන් ගත්තේ ය.
ලාබාන්, යාකොබ් හඹා යෑම
22යාකොබ් පලා ගිය වග තුන් වන දවසේ ලාබාන්ට දන්වන ලදී. 23එවිට තමා සමඟ තම නෑයින් ද කැටිව, හත් දවසක් යාකොබ් ලුහුබැඳ ගිය ඔහු ගිලියාද් කඳු රටේදී ඔහු වෙත ළඟා වූයේ ය. 24දෙවියන්වහන්සේ රාත්‍රි සිහිනයකින් අරාමීය ලාබාන් වෙත අවුත්, “යාකොබ්ට හොඳක් හෝ නරකක් කිසිවක් නො කියන්නට වග බලා ගන්නැ” යි පැවසූ සේක.
25ලාබාන්, යාකොබ් අසලට ළඟා වන විටත් යාකොබ්, ගිලියාද් කඳු රටේ තම කූඩාරම ගසා තිබිණි. ලාබාන් ද තම නෑයින් සමඟ ගිලියාද් කඳු රටේ කඳවුරු ගැසුවේ ය. 26ලාබාන්, යාකොබ්ට කතා කොට, “මොකක් ද මේ නුඹ කළේ? නුඹ මා රවටා, මගේ දූවරුන් යුද්ධ-වහලුන් වගෙයි ගෙන යන්නේ; 27හොර රහසේ පැන යමින්, නුඹ මා රැවටුවේ ඇයි? ප්‍රීතියෙන් යුතු ව කිකිණි රබන් ගසා, වීණා වයා, ගී ගයා, නුඹලා පිටත් කර යවන පිණිස ඇයි මට නො කීවේ? 28මගේ දරු-මුනුබුරන්ට හා මගේ දූවරුන්ට සමුදෙමින්, ඔවුන් සිපගන්නටවත් නුඹ මට ඉඩ තැබුවේ නැහැ. නුඹ කර ඇත්තේ අනුවණ වැඩක්. 29නුඹට හිරිහැර කරන්නට මට බලය තියෙනවා. එහෙත් ඊයේ රෑ නුඹේ පියාගේ දෙවියන්වහන්සේ මට කතා කොට, ‘යාකොබ්ට හොඳක් හෝ නරකක් හෝ නො කියන්නට වග බලා ගන්නැ’ යි කීවා. 30හොඳයි, නුඹ පිටත් ව ගියේ නුඹේ පියාගේ ගෙදරට ආපසු යෑමේ බලවත් ඕනෑකම නිසයි. එනමුත් මගේ දෙවිවරුන් සොරා ගත්තේ මන්දැ?” යි ඇසී ය.
31යාකොබ්, ලාබාන්ට පිළිතුරු දෙමින්, “ඔබ ඔබේ දූවරුන් බලයෙන් මගෙන් උදුරා ගනිතැයි මා භය වුණා. 32එහෙත් ඔබේ දෙවිවරුන්, යමකු වෙත තිබී සම්බ වුණොත් ඒ අය, ජීවත් විය යුතු නැහැ. ඔබ සතු යමක් මෙහි මා ළඟ වේ නම්, අපේ නෑයින් ඉදිරිපිට එය පෙන්වා, එය අරගන්නැ” යි කීවේ ය. රාඛෙල් ඒවා සොරාගත් වග යාකොබ් දැන සිටියේ නැත.
33එවිට ලාබාන් යාකොබ්ගේ කූඩාරමටත්, ලෙයාගේ කූඩාරමටත්, සේවිකාවන් දෙදෙනාගේ කූඩාරමටත් ඇතුළු විය. එහෙත්, ඔහුට ඒ කිසිවක් සොයාගත නො හැකි විය. ලෙයාගේ කූඩාරමින් පිටතට පැමිණි ඔහු රාඛෙල්ගේ කූඩාරමට ඇතුළු විය. 34රාඛෙල්, තමා සොරාගෙන තිබූ ගෘහ දේව පිළිම, තම ඔටු සෑදලයේ බහා, ඒ මත වාඩි වී සිටියා ය. ලාබාන් කූඩාරම තුළ හැම තැනක ම සෙවූ මුත් ඒවා සම්බ නො වී ය.
35තම පියා ඇමතූ රාඛෙල්, “මා හා අමනාප නො වන්න ස්වාමිනි, ඔබ ඉදිරියේ නැගී සිටින්නට මට පුළුවන්කමක් නැහැ. මන්ද මම කාන්තාවන්ගේ මාසික නියමයෙන් පසුවෙමි” යි කීවා ය. මෙසේ, ඔහු සොයා බැලූ නමුදු, ගෘහ දේව පිළිම සොයාගත නො හැකි විය.
36එකල යාකොබ් කිපී, ලාබාන්ට දොස් නගමින්, “මොකක් ද මගේ අපරාධය? මා පසු පස කඩිමුඩියේ ලුහුබැඳ එන්නට කුමක් ද මා කළ පාපය? 37දැං නුඹ මගේ සියලු බඩු පරීක්ෂා කළා. නුඹේ ගෙදර බඩුවලින් මොනවද මෙහි සොයා ගත්තේ? ඒවා මෙහි නුඹේත්, මගේත් නෑයින් ඉදිරියේ තබනු. ඔවුන් අප විනිශ්චය කළා වේ.
38“මේ අවුරුදු විස්සට මා සිටියේ නුඹ ළඟයි; නුඹේ එළු බැටළු දෙනුන් ගබ්සා වුණේ නැහැ. නුඹේ රංචුවල බැටළුවන් මා අහරට ගත්තේ නැහැ. 39වන මෘගයින් ඉරා දැමූ සතුන් මා නුඹ වෙත ගෙනාවේ නැහැ. එහි පාඩුවත් මා දරාගත්තා. දවාලේ හෝ රැයේ හෝ සොරු ගෙනගියවුන් පවා නුඹ මගෙන් අය කර ගත්තා. 40මා කල් යැව්වේ මෙලෙසයි. දහවල් හිරු තාපයෙන් ද රාත්‍රි තද ශීතලෙන් ද මා දැවුණා. නින්ද මගේ දෙනෙතින් පලා ගියා. 41පසුගිය මේ අවුරුදු විස්ස ම මා සිටියේ නුඹේ ගෙදර. දාහතර අවුරුද්දක් නුඹේ දූවරුන් දෙදෙනා සඳහාත් හය අවුරුද්දක් නුඹේ එළු බැටළු රංචු සඳහාත් මා නුඹට වැඩ කර දුන්නා. නුඹ දහ වතාවක් මගේ කුලිය වෙනස් කළා. 42මගේ පියාගේ දෙවියන්වහන්සේ වන ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ද ඊසාක්ගේ භීතිය#31:42 ඊසාක්ගේ භීතිය හෙබ්‍රෙව් පහද් යන වචනයේ අර්ථය භීතිය හෝ ත්‍රාසය යන්නයි. ද වූ තැනැන්වහන්සේ මා සමඟ නො වූ සේක් නම්, නුඹ හිස් අතින් ම මා පිටත් කර හරිනවා සිකුරුයි. එහෙත්, මගේ අසීරුතා හා මගේ දෑතේ වෙහෙස දෙවියන්වහන්සේ දුටු සේක්, ඊයේ රෑ උන්වහන්සේගේ තීන්දුව නුඹට දී ඇතැ” යි කීවේ ය.
43එවිට ලාබාන්, යාකොබ්ට පිළිතුරු දෙමින්, “මේ දූවරුන් මගේ දූවරුයි. මේ දරුවන් මගේ දරුවොයි. මේ රංචු මගේ එළු බැටළු රංචුයි. නුඹට පෙනෙන මේ සියල්ල මගෙයි. එහෙත්, මගේ මේ දූවරුන් ගැනත්, ඔවුන් බිහි කළ දරුවන් ගැනත් අද මට කළ හැක්කේ කුමක් ද? 44එන්න; අපි ගිවිසුමක් කර ගනිමු, නුඹත් මාත් අතර. එය නුඹත්, මාත් අතර සාක්ෂියක් ව තිබේවා!” යි කීවේ ය.
45එවිට යාකොබ් ගලක් ගෙන, සැමරුම් කණුවක් ලෙස එය සිටුවී ය. 46යාකොබ් තම නෑයින් අමතමින්, “ගල් එකතු කරන්නැ” යි කීවේ ය. එවිට ඔවුහු ගල් අහුලා, ගොඩක් ගැසූහ. ඉන්පසු ඒ ගල් ගොඩ පසෙක සිට ඔවුහු අහර ගත්හ. 47ලාබාන් ඊට යෙගර්-සාහදූතා#31:47 යෙගර්-සාහදූතා අරාමීය බසින් සාක්ෂි ගොඩ යන නම තැබූ අතර යාකොබ් ඊට ගල්යේද්#31:47 ගල්යේද් හෙබ්‍රෙව් බසින් සාක්ෂි ගොඩ යන නම තැබී ය.
48ලාබාන් කතා කරමින්, “මේ ගල් ගොඩ අද ඔබත්, මාත් අතරේ සාක්ෂියකැ” යි පැවසී ය. එය ගල්යේද් යන නමින් හැඳින්වූයේ එබැවිනි. 49එය මිස්පා#31:49 මිස්පා එනම් මුර කුලුන නමින් ද හැඳින්විණ. එසේ වූයේ, ලාබාන් කතා කරමින්, “අප එකිනෙකාගෙන් ඈත් ව සිටියදී ස්වාමින්වහන්සේ ඔබත්, මාත් දෙස බලා සිටින සේක්වා! 50නුඹ, මගේ දූවරුන්ට වෙනස්කම් කළහොත් හෝ මගේ දූවරුන්ට අමතරව තවත් භාර්යාවන් ගතහොත්, අප සමඟ වෙන කිසිවකු නො සිටියත්, දෙවියන්වහන්සේ නුඹත්, මාත් අතරේ සාක්ෂිකරුවාණන් කෙනකු වග මතක තබා ගන්නැ” යි පැවසී ය.
51ලාබාන්, යාකොබ් අමතමින්, “මෙන්න මේ ගල් ගොඩත්, නුඹත්, මාත් අතර මා සිට වූ මේ කණුවත් දිහා බලන්න. 52නුඹට අනදරයක් කරන පිණිස, මා මෙම ගල් ගොඩ පසු කර, නුඹේ දිසාවට නො එන වගටත්, මට අනදරයක් කරන පිණිස, නුඹ මේ ගොඩත්, මේ කණුවත් පසු කර, මගේ දිසාවට නො එන වගටත් මේ ගොඩ සාක්ෂියි. 53ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ද නාහෝර්ගේ දෙවියන්වහන්සේ ද වන ඔවුන්ගේ පියාගේ දෙවියන්වහන්සේ අප අතරේ විනිශ්චය කරන සේක්වා” යි කීවේ ය.
එබැවින් යාකොබ් තම පියා වූ ඊසාක්ගේ භීතිය වූ තැනැන්වහන්සේගේ නාමයෙන් දිවුළේ ය. 54ඉන්පසු යාකොබ් එම කන්දේ යාග පූජාවක් ඔප්පු කොට, තම නෑයින්ට භෝජන සංග්‍රහයකට ඇරියුම් කළේ ය. ඔවුහු අනුභව කොට, රාත්‍රිය කන්දේ ගත කළහ.
55ලාබාන් පසු දා අරුණ උදයෙන් පිබිද, තම දරු මුනුපුරන් ද තම දූවරුන් ද සිප, ඔවුනට ආශිර්වාද කළේ ය. ඉන්පසු ඔහු පිටත් ව ආපසු ගෙදර ගියේ ය.

Kuonyesha

Shirikisha

Nakili

None

Je, ungependa vivutio vyako vihifadhiwe kwenye vifaa vyako vyote? Jisajili au ingia